සෞදි අරාබි රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර නාවික ධාරිතාවන් ඉහළ නැංවීමේ මුලපිරීම් පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.
ලෝක ආරක්‍ෂක ප්‍රදර්ශනය – 2026 (World Defence Show) සඳහා සහභාගී වීමට සෞදි අරාබියේ නිළ සංචාරයක නිරත වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා සහ සෞදි අරාබි නියෝජ්‍ය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් Fahad Al Ghofaily අතර නිළ හමුවක් පසුගියදා පැවැත්වූ බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
දෙරටේ සන්නද්ධ හමුදාවන් අතර මෙහෙයුම් සම්බන්ධයෙන් වන දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් හුවමාරු කර ගැනීමට ද මෙම සාකච්ඡාවේ දී අපේක්‍ෂා කෙරුණු බව නිවේදනයෙන් දැනුම් දෙයි.
සෞදි අරාබි රාජ්‍යයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා නිලධාරීන් සඳහා පුහුණු අවස්ථා පුළුල් කිරීම මෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිරීක්‍ෂණ හැකියාවන් සහ ගැඹුරු මුහුදේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීමට අවශ්‍ය සහාය ලබාගැනීම කෙරෙහි ද මෙම සාකච්ඡා වලදී ප්‍රමුඛ අවධානයක් යොමු වූ බව සඳහන් වේ.
නීති විරෝධී සමුද්‍රීය කටයුතු මර්දනය කිරීම සහ නැගී එන ආරක්‍ෂක අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම මෙම ධාරිතා වර්ධන මුලපිරීම්වල මූලික අරමුණ බව පවසයි.
සෞදි අරාබි රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප ආරක්‍ෂක සබඳතා සහ ආයතනික සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීමට දෙපාර්ශවයම සිය කැපවීම යළිත් තහවුරු කරමින් මෙම හමුව ඉතා සාර්ථක ලෙස නිමාවට පත් කළ බව එම නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත.
Saru News










