ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස
ජාතික රෝහල් පරිශ්‍රයේ විපස්සි බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කරමින් කියයි
සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යෑමේ දී රටේ පවතින සමහර නීති රීති එලෙසම අනුගමනය කරමින් සහ කාලය ගනිමින් සමහර හදිසි ගැටළුවලට විසඳුම් සෙවීමට නොහැකි බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි විපස්සි බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවේදීය.
සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහ නායක ධූරයෙහි වැඩ විසූ අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ආරම්භ කළ රෝහල් සේවා මණ්ඩලයේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි විපස්සි බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙහි දී රුපියල් කෝටි දෙකක පමණ වටිනාකමින් යුත් රෝහල් හා වෛද්‍ය උපකරණ තොගයක්ද කොළඹ ජාතික රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.
ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි විපස්සි බෞද්ධ මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් ලක්ෂ 68කි. මේ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් ලක්ෂ 45ක මුදලක් ලබා දී ඇත. ඉතිරි මුදල රෝහල් සේවා මණ්ඩලය විසින් වැයකර ඇති අතර මෙහි ඉදිකිරීම් සඳහා ශ්‍රම දායකත්වය නාවික හමුදාව විසින් ලබා දී ඇත.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ලෝකයේ විවිධ රටවල වෙසෙන ජනතාවගෙන් උදව් උපකාර ලබාගෙන මෙරට ජනතාවට එම ප්‍රතිලාභ ලබාදීමට පූජ්‍ය රජවැල්ලේ සුභූති හිමි ඇතුළු කණ්ඩායම සිදුකරන මැදිහත්වීමට, මගපෙන්වීමට ගෞරවය පිරිනමනවා.
තමන් දේශපාලනයට පැමිණිමට පෙරත්, පැමිණි පසුත්, ඇමැතිකම් භාරගැනීමට පෙරත්, ස්වේච්ඡා කටයුතු රාශියක් සිදුකරමින් සිටි බව පැවසූ අමාත්‍යවරයා එම කටයුතු ඉතා සීඝ්‍රග්‍රාමීව මීටර් සියය දුවන්නාසේ සිදු කළ හැකි වූ බව පැවැසීය. නමුත් රජයේ කටයුතු සිදුකරන විට එය මීටර් සියය දුවනවා සේ අතිවේගවත්ව සිදුකිරීමට නොහැකි බවත්, එය මීටර් සියය අතර කඩුළු දුවනවා සේ සිදු කළ යුතු කාර්යක් බව මෙහි දී පෙන්වා දෙන ලදී.
ඖෂධ හිඟයට පිළියම් සෙවීමේදී එයට බාධා වී ඇත්තේ පවතින සමහර නීති ඊති බව පෙන්වා දුන් අමාත්‍යවරයා තුනෙන් දෙකේ බලයක් තබාගෙන එම නීති රීති වෙනස් කිරීමට නොහැකිද යන්න කෙනෙකුට ගැටළුවක් සේ පැන නැගිය හැකි බවද පැවසීය. කටයුතු කිරීමට තිබෙන සමහර නීතිත්, රෙගුලාසිත්, බැලූ විට සමහර ගැටළු අද ඊයේ පැණ නැගුණු ඒවා නොව බි්‍රතාන්‍ය සමයේ සිට පැවත එන ඒවා බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදී. එය වෙනස් කිරීමට උත්සාහ දැරිය යුතු බවත්, නමුත් එය එකිනෙකට සම්බන්ධ බැවින් ඉතා කල්පනාකාරීව සිදුකළ යුතු බව පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති යාන්ත්‍රණය, සේවාව යම් ස්ථාවරත්වයකට ගෙන විශ්වාසය ගොඩනැගීම තමන් වෙත පැවරුණු පළමු කාර්ය බව පැවසූ අමාත්‍යවරයා මෙවැනි ආකාරයේ පරිත්‍යාග විධිමත් කිරීමටද අවධානය යොමුකරන බව පැවසීය.
මෙම අවස්ථාවට අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජනීය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේ, අමරපුර ශ්‍රී ධම්මරක්ෂිත මහා නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත ශ්‍රාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය ත්‍රිකුණාමලේ ආනන්ද මහ නායක ස්වාමීන්වහන්සේ, රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති මහෝපාධ්‍යාය අතිපූජ්‍ය අකුරටියේ නන්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩමකර සිටි අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වැබ) වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ, ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් සහ සැදැවතුන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.
නිශාන් එස්. ප්‍රියන්ත
Saru FM Media