සූස් ගගා ගන්න කොත්තු රෙසිපි 7ක්

0
11


කවදවත් එපා නොවන සුපිරිම කෑමක් තමා කොත්තු කියන්නෙ.. පහුගිය කොරෝනා සමයෙ අපේ ඇත්තොන්ට කඩෙන් කොත්තු එකක් ගන්න බැරුව සෑහෙන අමාරුවෙන් හිටියනෙ. ඒකටත් එක්ක දැන් කට්ටිය ඇරියස් අල්ලනවා පේනවා. ඒත් ඉතින් කොටසක් ඉන්නවා කඩේ කොත්තු කාලා සෙට් වෙන්නෙම නැති අය. පොඩි බබාලටත් ඉතින් රසකාරක දාලා දෙන්න බයයිනේ… එහෙම අයට ඔන්න ගෙදරදිම කොත්තු හදාගන්න පුලුවන් විදි කීයපක් ගෙනාවා. හදලා බලලා රස කොහොමද කියන්නත් අමතක කරන්න එපා.

01. චිකන් කොත්තු

ගෝදම්බ රොටිය හදාගන්න විදිය
අවශ්‍ය ද්‍රව්‍ය:-
පාන්පිටි ග්‍රෑම් 500
ලුණු ස්වල්පයක්
තෙල් ස්වල්පයක්

පාන්පිටි වලට ලුණු දාලා කලවම් කරගන්න.දැන් මේකට වතුර ටික ටික දාලා ඩෝ එකක් අනාගන්න.ගෝදම්බ රොටිය නියමෙට එන්න නම් ඩෝ එක සෑහෙන්න වෙලා නීඩ් කරගන්න ඕනෙ. මේකට පොල්තෙල් ටිකක් දාලා තව ටිකක් නීඩ් කරලා පැයක් වහලා තියලා ආයෙ හොඳට නීඩ් කරලා පොඩි බෝල හදාගන්න.අතේ තෙල් ටිකක් ගාලා මේ බෝල වල තෙල් තවරගෙන එකින් එක හොඳට නීඩ් කරගන්න.ආයෙ මේක ලන්ච් ශීට් එකකින් වහලා පැය භාගයක් තියන්න.ඊලඟට හොඳට තුනී කරලා පෑන් එකකට දාලා දෙපැත්ත පුළුස්සාගන්න.මේවා නිවෙන්න තියලා රොටී 5ක්වගේ එකට තියලා පොඩි කෑලි කපාගන්න.

චිකන් කොත්තුව සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය :-
කපාගත් කොත්තු රොටී 6-7
පිසගත් මස් කරියක්
කපාගත් ලීක්ස් කෝප්ප 1/2
කපාගත් කැරට් කෝප්ප 1/2
කපාගත් ළූණුකොළ කෝප්ප 1/4
කපාගත් මාලුමිරිස් කරල් 2
ලියාගත් ළූණු ගෙඩි 1
චොප්කරගත් ඉඟුරු සුදුළූණු තේහැඳි 2
සෝයාසෝස් මේසහැඳි 1
බිත්තර 2
කපාගත් තක්කාලි ගෙඩි 1
ලුණු ස්වල්පයක්
සීනි තේහැඳි 1

  • තාච්ච්චියට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ඉඟුරු සුදුළූණු ටික දාගන්න.
  • මේකට බිත්තර ටිකත් දාලා බැදගන්න.
  • ටිකකින් ළූණු හා එළවළු සියල්ලම දාගන්න.
  • හොඳට බැදෙන්න ඇරලා ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න.
  • සීනි ටිකත් දාගන්න.
  • දැන් මේකට චිකන් ටික කඩලා දාගන්න කොත්තු රොටී කෑලි දාන ගමන් චිකන් හොදි හා සෝයාසෝස් එකතු කරන්න.
  • හොඳට කලවම් කරලා ලිපෙන්බාගන්න.

02. පාන් කොත්තු

අවශ්‍ය ද්‍රව්‍ය:-
කෑලි කපාගත් පාන් කෝප්ප 2
කපාගත් කැරට් අල 1
කපාගත් ලීක්ස් කෝප්ප 1/2
කපාගත් ළූණුකොළ කෝප්ප 1/4
කපාගත් ළූණු ගෙඩි 1
කපාගත් බෙල්පෙපර් ගෙඩි 1/2
නයි මිරිස් කරල් 1
කෑලිමිරිස් තේහැඳි 2
චීස් කෑලි 2
කපාගත් අමුමිරිස් කරල් 2
චොප්කරගත් ඉඟුරු සුදුළූණු තේහැඳි 2
සෝයාසෝස් තේහැඳි 1
බිත්තර 2

  • පෑන් එකට තෙල් ටිකක් දාල රත්වෙනකොට ඉඟුරු සුදුළූණු ටික දාගන්න.
  • මේකට අමුමිරිස් හ නයි මිරිස් චොප් කරලා එකතු කරගන්න.
  • ටිකක් බැදෙන්න ඇරලා බිත්තර ටික දාගන්න.
  • හොඳට කලවම් කරගන්න.
  • දැන් මේකට කෑලිමිරිස්, ළූණු හා කැරට් දාලාකලවම් කරන්න.
  • අනික් එළවළු සියල්ලත් දාලා කලවම් කරලා චීස් දාගන්න.
  • ඊලඟට පාන් කෑලි දාලා කලවම් කරලා සෝයා සෝස් ටික්ක් දාලා ලිපෙන් බාගන්න.

03. ඩොල්ෆින් කොත්තු

අවශ්‍ය ද්‍රව්‍ය:-
පරාටා හෝ බිත්තර රොටී 4-5
බිත්තර 2
කපාගත් ලීක්ස් කෝප්ප 1/2
කපාගත් කැරට් අල 1
මාළුමිරිස් කරල් 2
ලියාගත් ළූණු ගෙඩි 1
චොප්කරගත් ඉඟුරු සුදුළූණු ස්වල්පයක්
ෆ්‍රෙශ්මිල්ක් කෝප්ප 1
තම්බාගත් චිකන් කෑලි 7-8
චිකන් හොදි ස්වල්පයක්
කරපිංචා ස්වල්පයක්
ලුණු හා ගම්මිරිස්කුඩු
කෑලිමිරිස් ස්වල්පයක්

  • පරාටා ටික තරමක් ලොකු කෑලි වලට කපාගන්න.
  • භාජනයකට තෙල් ටිකක් දාලා ලිපේ තියලා රත්වෙනකොට ඉඟුරු හා සුදුළූණු හා කරපිංචා ටික දාගන්න.
  • ඊලඟට මේකට චිකන් ටික දාලා බැදගන්න.
  • මේකටම ළූණු හා එළවළු ටිකත් දාගන්න.
  • රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න.
  • කෑලිමිරිස් ටිකත් දාලාකලවම් කරලා බිත්තර ටික දාගන්න.
  • දැන් මේකට කපාගත් පරාටා කෑලි ටික දාලා චිකන් හොදි ටික දාගන්න.
  • අන්තිමට කිරි ටිකදාලා කලවම් කරලා ටිකක් හිඳෙනකල් තියලා ලිපෙන් බාගන්න.

04. ඉඳිආප්ප කොත්තු

අවශ්‍ය ද්‍රව්‍ය:-
ඉඳිආප්ප 20 පමණ
පිසගත් චිකන් කෑලි 4-5 හා හොදි
කපාගත් ලීක්ස් ස්වල්පයක්
කපාගත් කැරට් අල 1
ලුණු හා ගම්මිරිස්කුඩු
ලියාගත් ළූණු ගෙඩි 1
ළූණුකොළ ස්වල්පයක්
චොප්කරගත් ඉඟුරු සුදුළූණු ස්වල්පයක්
තෙල් ස්වල්පයක්
බිත්තර 2

  • තෙල් ටික ලිපේ තියලා ඉඟුරු සුදුළූණු ටික දාලා බැදෙන්න අරින්න.
  • මේකට චිකන් ටික කඩල දාගන්න.
  • ටිකකින් ළූණු හා එළවළු සියල්ලම දාලා හොඳට බැදෙන්න අරින්න.
  • රස අනුව ලුණු දාගන්න.
  • බිත්තර ටිකත් දාගන්න.
  • දැන් ඉඳිආප්ප ටික අතින් පොඩි කෑලි කඩලා මේකට එකතු කරන්න.
  • ගම්මිරිස් කුඩු දාලා චිකන් හොදි ඇති පදම දාලා හොඳට කලවම් කරලා ලිපෙන් බාගන්න.

05. කොස් කොත්තු

 

අවශ්‍ය ද්‍රව්‍ය:-
කපාගත් කොස් කෝප්ප 2
ලියාගත් ලීක්ස් කෝප්ප 1/2
චොප්කරගත් ළූණු ගෙඩියක්
ලියාගත් ළූණුකොළ ස්වල්පයක්
ග්‍රේට්කරගත් කැරට් අල 1
අමුමිරිස් කරල් 2
ලියාගත් රම්පේ හා කරපිංචා ස්වල්පයක්
ලියාගත් තක්කාලි ගෙඩි 1
චොප්කරගත් සුදුළූණු බික් 3
චොප්කරගත් ඉඟුරු තේහැඳි 1
බිත්තර 2
කරාඹුනැටි 2
කුරුදුපොතු කෑල්ලක්
ලුණු හා ගම්මිරිස්කුඩු
කෑලිමිරිස් තේහැඳි 2
තෙල් ස්වල්පයක්

  • කොස් ටික ස්ටීමර් එකේ තම්බගන්න.
  • තෙල් ටික ලිපේ තියලා රත්වෙනකොට ඉඟුරු, සුදුළූණු, අමුමිරිස්, රම්පේ කරපිංචා හා කුරුදුපොතු දාගන්න.
  • ටිකක් වෙලා බැදගන්න.
  • මේකට කෑලිමිරිස්, කරාඹුනැටි, ළූණු, කුරුදුපොතු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරන්න.
  • හොඳට බැදුනම බිත්තර හා කපාගත් එළවළු දාගන්න.
  • එළවළු සම්පූර්ණයෙන්ම මැලවෙන්න නොදී කොස් ටික දාලා රස අනුව ලුණු දාලා කලවම් කරගන්න.

06. නුඩ්ල්ස් කොත්තු

අවශ්‍ය ද්‍රව්‍ය:-
නූඩ්ල්ස් පැකට් 1
චිකන් ග්‍රෑම් 500
කපාගත් ළූණුකොළ ස්වල්පයක්
කපාගත් කැරට් අලයක්
කපාගත් ලීක්ස් කෝප්ප 1/2
කපාගත් ගෝවා කෝප්ප 1/2
කපාගත් මාළුමිරිස් කරල් 2
චොප්කරගත් ළූණු ගෙඩියක්
කපාගත් තක්කාලි ගෙඩි 2
කෑලිමිරිස් තේහැඳි 2
ලුණු ස්වල්පයක්
චොප්කරගත් ඉඟුරු සුදුළූණු මේසහැඳි 1
කරපිංචා ස්වල්පයක්
බිත්තර 2
සාදාගත් චිකන් හොදි ටිකක්
සෝයාසෝස් තේහැඳි 2

  • වතුර භාජනයක් ලිපේ තියලා පොල්තෙල් ටිකක් දාලා රත්වෙන්න තියන්න.
  • වතුර නටනකොට නූඩ්ල්ස් ටික දාලා තම්බගන්න.
  • ඊලඟට වතුර බේරෙන්න තියන්න.
  • චිකන් පොඩි කෑලි කපලා මිරිස්කුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා පැය 1/2ක් මැරිනේට් කරගන්න.
  • ඊලඟට මේ ටික තෙල් ටිකක් දාලා බැදගන්න.
  • ඒ ටික අයින් කරලා චොප්කරගත් ඉඟුරු සුදුළූණු ටික දාලා ටිකකින් කපාගත් ලීක්ස්, කැරට්, කරපිංචා හා අනික් එළවළු ටික තෙලට දාලා බැදගන්න.මේ ගැඹුරු තෙලේ නෙමෙයි බදින්න ඕනේ.නෝමල් පෑන් එකේ.
  • ඒ ටික තරමක් බැදුනම චිකන් හොදි ටික දාලා කෑලිමිරිස් එකතු කරන්න.
  • රස අනුව ලුණු දාගන්න.
  • බිත්තර ටිකත් දාලා කලවම් කරලා මේකට නූල්ඩ්ස් ටික දාලා බැදගත් චිකන් ටිකත් දාලා හොඳට කලවම් කරගන්න.
  • සෝයාසෝස් ටිකක් දාලා කලවම් කරලාලිපෙන් බාගන්න.

07. එළවළු කොත්තු

අවශ්‍ය ද්‍රව්‍ය:-
කපාගත් ගෝදම්බ රොටී කෝප්ප 2
තම්බාගත් කෝලිෆ්ලවර් කෝප්ප 1
කපාගත් කැරට් අල 1
කපාගත් ලීක්ස් කෝප්ප 1/2
කපාගත් ළූණු කෝප්ප 1/2
කපාගත් මාළුමිරිස් කරල් 2
කපාගත් අමුමිරිස් කරල් 2
කපාගත් බෙල්පෙපර් ගෙඩි 1
ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/4
කෑලිමිරිස් තේහැඳි 2
ලුණු හා ගම්මිරිස්කුඩු
චොප්කරගත් ඉඟුරු සුදුළූණු තේහැඳි 2
තෙල් ස්වල්පයක්

  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ඉඟුරු, සුදුළූණු හා අමුමිරිස් ටික දාගන්න.
  • මේ ටික හොඳින් බැදෙනකොට ළූණු ටික දාලා කෝලිෆ්ලවර් හැර අනික් එළවළු ටික දාගන්න.
  • මේ ටික හොඳින් බැදෙනකොට කෝලිෆ්ලවර් ටික අතින් කඩලා දාගන්න.
  • දැන් කිරි ටික දාලා කලවම් කරගන්න.
  • ඊලඟට මේකට ගෝදම්බ රොටී ටිකත් දාලා රස අනුව ලුණු, ගම්මිරිස්කුඩු හා කෑලිමිරිස් එකතු කරගන්න.
  • කිරි ටික ටිකක් හිඳෙනකල් මදගින්නෙ කලවම් කරගන්න.
  • හොඳට කලවම් කරලා ලිපෙන් බාගන්න.

The post සූස් ගගා ගන්න කොත්තු රෙසිපි 7ක් appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here