සුසී නව පරිපාලනයට සුබ පතන්නට පැමිණෙයි

0
3

නිශ්මං රණසිංහ ,මාර්තු 13, කොළඹ LNW:

මලල ක්‍රීඩා නිලවරණයේ පත් වූ නව නිලධාරි මණ්ඩලයට සුබ පැතීමට ඔලිම්පික් පදක්කම්ලාභි සුසන්තිකා ජයසිංහ ද එක් වුණා.සුබ පැතීමෙන් ඉනික්බිති ඇය සහ නව සභාපති බිමල් විජයසිංහ එක්ව ජයග්‍රහණය සැමරීම සඳහා කේක් කැපීමක් ද සිඳු කළා.ක්‍රිඩා කිරීම පළමු සාධකය කොට සැළකීම පසෙකලා පරිපාලනයට නිවැරදි නායකත්වයක් දීම අරමුණු කර ගත් කණ්ඩායමක අවශ්‍යතාවය තෝරා ගනිමින් මෙවර මලල ක්‍රීඩා පරිපාලනයේදී ඡන්දය භාවිතා කිරීම කැපී පෙණුනා.

මෙහි විශේෂත්වය වුයේ බිමල් විජයසිංහ සහ සුනිල් ගුණවර්ධන පාර්ශව අතර පැවති නිලවරණයේ දී කමිටු සාමාජික තනතුරු සඳහා පැවති ඡන්දයේදී අවසාන සාමාජිකයා ලෙස ලාල් චන්ද්‍රකුමාර සහ වසන්ත ජයරත්න පෙරේරා සම ඡන්ද ලබා ගත්තා.ලාල් චන්ද්‍රකුමාර එවැනි සම ඡන්දයක් ලබා ගැනීම හැරෙන්නට සුනිල් ගුණවර්ධන පාර්ශවයේ කිසිවෙකු තනතුරකට තේරි පත්වීම සඳහා සුදුසුකම් ලබා ගත්තේ නැහැ.එහෙත් ලාල් චන්ද්‍රකුමාර ඉන් ඉවත්වෙන බව සුනිල් ගුණවර්ධන පාර්ශවයේ බර්නාඩ් පෙරේරා ප්‍රකාශ කිරීමත් සමඟ නිලවරණයේ සියලු තෝරා පත් කර ගැනීම් බිමල් විජයසිංහ පාර්ශවයට හිමි වුණා.උප භාණ්ඩාගාරික තනතුර පමණක් නිතරගයෙන් සුනිල් ගුණවර්ධන පාර්ශවය සතු වුණා.

බිමල් විජයසිංහ සභාපති තනතුර සඳහා තේරී පත්වීමට ඡන්ද 61 ක් ලබා ගත් අතර ඔහුට එරෙහිව පැමිණි සුනිල් ගුණවර්ධනට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 38 ක් පමණි.මාධව බණ්ඩාර ලේකම් තනතුර සඳහා තේරී පත් වූයේ ඡන්ද 64 ක් ලබාගෙනයි.ප්‍රතිවාදී ධම්මික සේනානායකට සිඳු වූයේ ඡන්ද 35 න් සීමා වන්නටයි.රසිකා නිලංගනී ඡන්ද 63 ක් ලබා ගනිමින් භාන්ඩාගාරික ධූරයට පත් වෙද්දී රුවන් කුමාර හේවගේ ඇයට එරෙහිව තරග වඳිමින් ලබා ගත්තේ ඡන්ද 34 ක් පමණි.
රසිකා නිලංගනීගේ තේරී පත්වීම මේ නිලවරණයේ සිඳු වූ වැදගත් තේරී පත්වීමකි.මතක ඉතිහාසය තුළ මලල ක්‍රීඩා පරිපාලනයේ ප්‍රධාන තනතුරු තුන ලෙස සැළකෙන,සභාපති,ලේකම් සහ භාණ්ඩාගාරික යන තනතුරු තුනෙන් එකකට කාන්තාවක් පත්වන්නේ පළමු වතාවටය.එය බිමල් ජයසිංහ පාර්ශවය ගත් හොඳ තීරණයක් ලෙස දැකිය හැකි අතර ලාංකේය සංස්කෘතිය තුළ ඉතිරිය සහ අවශ්‍යයතාවය අනුව කෙරෙන වියදමත් යන කාරණාවන්වලදී කාන්තාවගේ භූමිකාව අතිශයින් වැදගත්ය.

උප සභාපති තනතුර සඳහා ඡන්දය භාවිතා කිරීමේදී වැඩිම ඡන්ද ලබා ගත්තේ ජයන්ත සියමුදලිය.(59) දෙවැනි තැනට පැමිණියේ ඡන්ද 53 ක් ලබා ගත් ජගත් ඥාණසිරි ය.සෙසු තරගකරුවන් දෙදෙනා වූ ගීතික ජයතිලක සහ ප්‍රසන්න ඉන්දික ලබා ගත්තේ ඡන්ද 32 බැඟින්ය.සුනිල් ගුණවර්ධන පාර්ශවයෙන් වැඩිම ඡන්ද ලබා ගත් පුද්ගලයා වූයේ සමීර ලක්රුවන් පෙරේරා ය.ඔහු උප ලේකම් ධූරය සඳහා තරග වඳිමින් ඡන්ද 40 ක් ලබා ගන්නට සමත් විය.එහෙත් ඔහුගේ ප්‍රතිවාදියා වූ ඇලෝයි වික්‍රමසිංහ ඡන්ද 56 ක් ලබා එම තනතුරට පත් විය.

හිටපු භාණ්ඩාගාරිකවරයෙකු වූ ශාන්ත ලාල් ද සිල්වා උප භාණ්ඩාගාරික තනතුරට තේරී පත් වූයේ මීට ඉහත සඳහන් කළ ආකාරයට නිතරගයෙන්ය.ඔහු සමඟ තරග කරන්නට බිමල් විජයසිංහ පාර්ශවයට තරගකරුවෙකු ඉදිරිපත් කරන්නට නොහැකි වීම නිසා සුනිල් ගුණවර්ධන පාර්ශවයට මෙම පරිපාලන කණ්ඩායම තුළ ඉතිරි වූ එකම නියෝජනය වන්නට ශාන්ත ට හැකි විය.
කමිටු සාමාජිකත්වයට තේරී පත් වීමේදී වසන්ත ෆොන්සේකා සහ ලාල් චන්ද්‍රකුමාර අතරින් වසන්ත තේරී පත්වීම ගැන මීට ඉහත සටහන් කළේය.පහතින් දැක්වෙන්නේ සෙසු තේරී පත් වූ සාමාජිකයන් ලබා ගත් ඡන්ද ප්‍රමාණයන්ය.
නෙවිල් රොඩ්‍රිගෝ – 58
ප්‍රසන්න අළුවිහාරේ – 58
ටෙනිසන් සිරිවර්ණසිංහ – 54
ගීතා පතිරණවසම් 50
සුගත් කුමාර 50
වේළුපිල්ලේ ඊස්පරම් 42
ගීත් මානවඩු 39
සුනිල් ගුණවර්ධනගේ කණ්ඩායම අපේක්ෂකයන් හැටියට නියෝජනය නොකළ ආධාර කළ පිරිස් වෙතින් යම් කිසි ආකාරයකට නිලවරණයේදි බලපෑම් එල්ල වූ බව ප්‍රකාශ වුණා.එයින් වැඩියෙන්ම හානි වුණේ සුනිල් ගුණවර්ධනටයි.දක්ෂ ක්‍රීඩකයන් දක්ෂ පුහුණුකරුවන් වීම සුලබ කාරණයක් නොවේ.එහෙත් සුනිල් ගුණවර්ධන ඔලිම්පික් දක්වා ගිය ධාවකයෙක් මෙන්ම ඔලිම්පික් දක්වා යා හැකි ක්‍රීඩකයන් නිර්මාණය කළ පුහුණුකරුවෙකුද වෙනවා.එවැනි දුර්ලභ පුද්ගලයෙකුට යම් අපහාසයක් වන ලෙස අසාධාරණ ලෙස කිසිවෙකු හෝ ඔහු වෙනුවෙන් පෙනී සිටිම නොකළ යුතුව තිබුණා.

ලංකාවේ ක්‍රීඩා කේෂ්ත්‍රයේ නිරන්තරයෙන්ම දකින්නට ලැබෙන්නේ තමන්ගේ බලය අනවශ්‍යය තැන්වලට යොදන්නට උත්සාහ කිරිම්ය.එවැනි දේ දැක රිඳුණු මිනිසුන්ද බලයට පැමිණි පසු නිවැරදි දේ අවබෝධ කර ගැනීමට නොහැකිව හැසිරෙන්නේනම් කණගාටුදායකයි.බිමල් – මාධව කණ්ඩායමත් පසුගිය නරක පරිච්ඡේද කියවා විඳිම වෙනුවට, ඒවායේ තිබුණ විඳවීම් දැක අවබෝධයෙන් බලයට පැමිණි පිරිසක් යන්න සත්‍ය කාරණයක්.ඒ නිසා ඒ අවබෝධය දැනගෙන බලය යෙදිය යුතු තැන්,නොයෙදිය යුතු තැන් තේරුම්ගෙන ඉදිරියට යාම වැදගත් වන අතර ගස් අතු පහළට නැමෙන්නේ පලබර වූ පසුව බව තේරුම් ගත යුතුයි.එවිට ඒවා කාටත් පහසුවෙන් ළඟා විය හැකි දුරකින් තිබෙනු ඇත. ක්‍රීඩාවේ පහළම ස්ථාරයන්ටත් සියල්ලටමත් සමීපව කටයුතු කළ හැකි පරිපාලනයක් ලෙස නිලවරණයෙන් ඉනික්බිති උදාවෙන තත්පරයේ සිට මලල ක්‍රීඩාව වෙනුවෙන් ආදරය කරන සැවොම රොඳ බඳින බිමක් බවට ක්‍රීඩා පිටිය පත් කිරීමේ අභියෝගය ජය ගන්නට නව පරිපාලනයට හැකි වේවා යන්න අපේ පැතුමය.

The post සුසී නව පරිපාලනයට සුබ පතන්නට පැමිණෙයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here