සුරාබදු ආදායම් වර්ධනය කරගැනීම සඳහා ඩිජිටල්කරණ වැඩපිළිවෙළට වෘත්තීය සමිති එකඟතාවය

0
2

සුරාබදු ආදායම් රැස්කිරීම වර්ධනය කරගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල්කරණ සහ නව්‍යකරණ වැඩපිළිවෙළට සුරාබදු දෙපාර්තමේන්තුවේ සියලු වෘත්තීය සමිති එකඟතාවය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් වූ එකඟතාවය පසුගිය 03 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී පළ කෙරුණු බව එම අංශය සඳහන් කළේය. 

මෙම සාකච්ඡාවට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයින්, රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා එක්ව සිටියහ.

සුරාබදු දෙපාර්තමේන්තුව තුළ කාර්යක්ෂමතාවය වැඩි කිරීම මඟින් ආදායම් රැස්කිරීම වර්ධනය කරගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රමුඛ අරමුණ වූ බව සඳහන් වේ.

ඒ සඳහා අවශ්‍ය ඩිජිටල්කරණ ක්‍රියාවලිය, නව ප්‍රතිසංස්කරණ සහ නව්‍යකරණ කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර, ඩිජිටල්කරණය මඟින් කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම, මානව සම්පත් සංවර්ධනය සහ නිලධාරීන්ගේ සුබසාධන කටයුතු පිළිබඳවද අවධානය යොමු කර ඇත.

මෙම අවස්ථාවට සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. බී. එන්. ඒ. ප්‍රේමරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ සියලු වෘත්තීය සමිති නියෝජිතයින් එක්ව සිටියහ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here