කොළඹ දෙවන පෙළේ සංචාරක හෝටලයක නැවතී සිටි නෙදර්ලන්ත විදේශික කාන්තාවන් දෙදෙනකුගෙන් එක් අයකුට අයත් මුදල් සහ භාණ්ඩ කිසියම් පුද්ගලයකු විසින් පැහැරගෙන ඇති බවට පැමිණිල්ලක් පොලිසියට ලැබී තිබේ. කොළඹ පිහිටි හෝටලයේ සංචාරකයින් නැවතී සිටි කාමරයේ තිබෙන දේවල් සොරකම් කිරීමට යාපනයෙන්, මහනුවරින්, දෙවුන්දරතුඩුවෙන් හෝ ත්‍රිකුණාමලයෙන් හොරුන් එන්නේ නැත. එසේම ගෝල්ෆේස් පිට්ටනියේ චාටර් වෙමින් සිටින කුඩුකාරයන් ද එවැනි සොරකමකට එන්නේ නැත. අපගේ වැටහීමට අනුව සුද්දාට සහ සුද්දියට මේ සුද්දය දෙන්නට ඇත්තේ හෝටලයේම කෙනකු විසිනි. හෝටලයේ සභාපති, අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ මැනේජර් මේ හොරකමට සම්බන්ධ බවට අප තුළ සැකයක් නැත. එසේ නම් මේ සොරකම කරන්නට වැඩි ඉඩක් තිබෙන්නේ හෝටලයේ පහළ රැකියා ශ්‍රේණියක නියුතු පුද්ගලයකු විසිනි. මේ පුද්ගලයා අඩු පඩි ලබන ඉතා දුකසේ ජීවත් වන දුප්පත්ම දුප්පත් දරු පවුල්කාරයකු වීමට ඉඩ තිබේ. එහෙත් එවැනි කෙනකු වුව ලංකාවට එන සංචාරකයන් කොල්ලකෑමෙන් වැළකිය යුතු බව අපගේ මතය වේ. මන්ද මේ සංචාරක කතුන් දෙදෙනා ආපසු ගෙදර යන අතර, හමුවන හැම කෙනකුටම මේ සිද්ධිය කියනවා ඇත. ඔවුන් ගෙදර ගිය පසු ගෙදරට එන අයට ද මේ විස්තරය කියනවා ඇත. එවිට මේ රටේ සංචාරක බිස්නස් එකට සිදුවන්නේ විශාල ඩැමේජ් එකකි. ඒ නිසා පොලිසිය සොරා අල්ලාගෙන ඉහත සඳහන් දෙදෙනාගෙන් කොල්ල කෑ ධනය ආපසු ලැබෙන්නට සැලැස්වීම කළ යුතු ය. මේ අතර නිලාවේලි සංචාරක කලාපයට අයත් හෝටලයක නවාතැන් ගෙන සිටි ඉන්දියන් ජාතික දෙදෙනකුගෙන් එක් අයකු සතු රුපියල් ලක්ෂ 14ක් වටිනා රන් අබරණ ඇතුළු දේපළ සොරා ගැනීමේ සිද්ධියක් ද පෙරේදා වාර්තා විය. උප්පුවේලි පොලිසිය හා නිලාවේලි සංචාරක පොලිසිය ඒ ගැන ද පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
ලංකාවේ සංචාරක හෝටල් වර්ග කිහිපයක් තිබේ. ඉන් පළමුවැන්න තරු පහේ සහ තරු හතරේ හෝටල් ය. එම හෝටල්වල සිටින සේවකයන්ට සංචාරකයන් සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ලබාදී තිබේ. සංචාරකයන්ට කතා කළ යුතු ආකාරය, ඔවුන්ට ගරු කළ යුතු ආකාරය, ඉතා නම්‍යශීලීව ඔවුන් සමග ගනුදෙනු කළ යුතු ආකාරය ගැන තරු පහේ හෝටල් සේවකයන්ට විශේෂ වැඩමුළු පවත්වා කියාදෙනු ලැබේ. ඒ නිසා තරු පහේ හෝටල් කාමරයක ඇඳක් මත සල්ලි මිටියක් අමතකව ගිය ද එය අස්ථානගත වීමක් හෝ හොරාකෑමක් සිදුවන්නේ නැත. හොරකම් වැඩිහරියක් සිදුවන්නේ තරු තුනෙන් පහළ හෝටල්, පොඩි පොඩි ගෙස්ට් හවුස් යනාදිය තුළය. ලංකාවේ තිබෙන ගෙස්ට් හවුස්වලට කිසිදු ප්‍රමිතියක් නැත. ඒවායේ වායුසමීකරණ යන්ත්‍ර වැඩ නොකරයි. විදුලිපංකාව කැරකෙන්නේ ඉතා හෙමින් ය. සමහර ලයිට් පත්තුවන්නේ නැත. නානකාමරයේ ෂවර් එක කැඩී ඇති අතර, කොමොඩ් එක ප්ලෂ් වන්නේ නැත. ඒ අතර පොඩි-පොඩි ලොජ්වල තිබෙන කුස්සිය ඉතාම අපිරිසිදු ය. ඒවායේ ආහාර ෆ්‍රීසර් තුළ පල්වෙමින් තිබිය දී නැවත නැවත රත්කර ගනුදෙනුකරුවන්ට පිළිගන්වනු ලැබේ. මේ හෝටල්වල ඇති ෆ්‍රීසර් තුළ තිබෙන ගල්වූ කුකුළන් ජීවතුන් අතර සිටි කාලයට වඩා වැඩි කාලයක් ෆ්‍රීසරය තුළ සිට ඇත. එහි තිබෙන මාළු ජීවතුන් අතර සිටි කාලයට වැඩි කාලයක් ෆ්‍රීසරය තුළ සිට ඇත. ආණ්ඩුවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් රේඩ් කරන්නේ හන්දිවල තිබෙන රෑ කඩ පමණි. සංචාරක ක්‍ෂේත්‍රයේ ආහාර සැපයීම පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය පරීක්‍ෂකයෝ වැඩිමනත් නොඑති. එවැනි පසුබිමක් තුළ හොරාකෑම පමණක් නොව පිළුණු කෑම කැවීම ද සිදුවන බව අප මතක තබාගත යුතු ය. ඒ නිසා සංචාරක ව්‍යාපාරයේ ඉහත කී අංශය සම්බන්ධයෙන් ද ආණ්ඩුව තරයේම සොයා බැලිය යුතු ය.
Saru FM Media









