සිහි කැඳවීමේ ලිපි දෙකක් – Saru News | සිංහල

0
4

මෙරට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා ජාත්‍යන්තර සමාගම් සම්බන්ධ කර ගැනීමේ දී එවකට පැවති ආණ්ඩුවල ප්‍රධාන තර්කය වූයේ තරඟකාරීත්වය තුලින් ඉන්ධන සඳහා අඩු මිලක් තීරණය වෙනු ඇති බව ය.

මේ සම්බන්ධයෙන් 2023 මැයි 21 වෙනි දින එවකට පැවති දේශය පුවත්පතේ වෙබ් අඩවිය පළ කර තිබූ ලිපියක් සහ ශ්‍රී ලංකා රජයේ නියාමනයට අවනත නොවී ඉන්ධන මිල තීරණය කළ ආකාරය දැක්වෙන බීබීසී සිංහල වෙබ් අඩවියේ ලිපියක් සම්පූර්ණයෙන් ම උපුටා ගෙන පහතින් පළ කෙරේ.

දේශය (2023 මැයි 21)

ඛනිජ තෙල් සිල්ලරට අලෙවි කිරීම අරමුණු කරගෙන ජාත්‍යන්තර සමාගම් කිහිපයක් ශ‍්‍රී ලංකාවේ ආයෝජනයට සූදානම් බව අනාවරණය වේ. තෙල් ආනයනය, ගබඩා කිරීම හා ෂෙඩ් මගින් අලෙවිය සඳහා සමාගම් තුනකට අවසර නිකුත් කිරීමට සති දෙකකට කලින් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. තෙල් ආනයනය, බෙදාහැරීම හා විකිණීම ඛනිජ තෙල් සංස්ථාවට පමණක් සීමා වී තිබුණු යුගය අවසන් කරන්නේ 2003 වසරේදීය.  ඉන්දියන් ඔයිල් සමාගම මෙරටට පැමිණ ලංකා ඉන්දියන් ඔයිල් නමින් සමාගමක් ආරම්භ කරන ලද අතර ඔවුන්ට තෙල් ආනයනයට අවසර ලැබුණු අතර දිවයින පුරා අලෙවියට පිරවුම් හල් සියයක් පළමු වටයේදී හිමිවිය. චීනයේ සයිනොපැක් සමාගමට ද ජාත්‍යන්තර ආයෝජනයක් වශයෙන් ඉල්ලුම් කර තිබුණු නමුත් පසුව ආණ්ඩු වෙනස්වීම හේතුවෙන් එවකට පැවැති රජයේ අනුමැතිය ලැබුණේ නැත. 

ඛනිජ තෙල් කර්මාන්තයේ වෙනස්කම් ගැන දශක දෙකකට කලින් තීරණ ගැනීමට තිබුණි. සංස්ථාවේ අලාභ, හෙජිං ගිවිසුමේ අවාසි, තත්ත්වයෙන් බාල ඉන්ධන ආනයනය සහ විනිමය හිඟ වූ පසු කරන ලද ආනයනවල ප‍්‍රමාද ගාස්තු වශයෙන් දැවැන්ත අලාභයක් ඛනිජ තෙල් සංස්ථාව භාරයේ ඇත. අලාභ කෙසේ වෙතත් නියමිත කාලයේදී බෝනස් ගෙවන ලද බව පාර්ලිමේන්තු අනුකාරක සැසිවලදී හෙළි වී තිබේ. අනෙක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව තෙල් සංස්ථාව වියදම ආවරණය කරන ආදායමක් උපයා ගැනීම සඳහා පියවර ගත යුතුය. වරින් වර ගාස්තු සංශෝධනය කෙරේ. නාස්තිය, දූෂණය හෝ වෙනත් අලාභ ගෙවන්නේ පොදු ජනතාව වන අතර මෑත කාලය සඳහා ගෙවන ලද වන්දිය අති විශාලය. රාජ්‍ය බැංකු දෙකට ඇති ණය ප‍්‍රමාණය හා තෙල් මිල දී ගැනීමට ගත් විදේශ මුදල් නොපියැවීම හේතුවෙන් මහා භාණ්ඩාගාරයට බැරවීම දිරිය නොහැකි පිරිවැයකි. 

♦ අලුත් සමාගම් ගැන පසු විපරමක්

කැබිනට් තීරණය අනුව දැනට ලෝකයේ ප‍්‍රධාන සමාගම් තුනකට, ඛනිජ තෙල් කර්මාන්තය සඳහා අලුතින් අනුමැතිය ලබා දී ඇත. චීනයේ සයිනොපැක් සමාගම ඒ අතර ප‍්‍රධාන ව්‍යාපාරයකි. 1998 ට කලින් චීන ආණ්ඩුවේ ව්‍යාපාරයක් වූ අතර පසුව පෞද්ගලීකරණයට ලක්ව ඇත. ආසියාවේ විශාලතම ඛනිජ තෙල් පිරිපහදුව හිමි සයිනොපැක් සමාගම ලෝකයේ ඉසුරුමත් සමාගම් ලැයිස්තුවේ පස්වැනි ස්ථානයෙහි පසුවේ. මධ්‍යම අප‍්‍රිකාවේ ගැබොන් හි ඉන්ධන වෙළෙඳාමේ නිරත සයිනොපැක් සමාගම සුඩාන්වල තෙල් ළිං මිල දී ගෙන කැණීම් ආරම්භ කර ඇත. එයට අනුව ඔවුන්ගේම තෙල් නිධි හා පිරිපහදුව සහිත මෙම සමාගම සෞදි අරාබියේ ඇරුම්කෝ සමඟ වෙළෙඳ ගිවිසුමක් අත්සන් කර ඇති අතර පිලිපීනයේ ඛනිජ තෙල් කර්මාන්තයේ ද ආයෝජනය කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ආයතනය ද ශ‍්‍රී ලංකාවේ අනුමැතිය ලබා ඇත. අභ්‍යන්තරිකව ව්‍යාපාර මෙහෙයවන මෙම සමාගම ජාත්‍යන්තර වශයෙන් එපමණ ප‍්‍රකට එකක් නොවේ. සමාගම සතු තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථාන පන්සියයක් ඇත. ඔස්ට්‍රේලියාව සුළු ප‍්‍රතිශතයකින් බොර තෙල් නිපදවන නමුත් රටට අවශ්‍ය ප‍්‍රමාණය සිංගප්පූරුව, ඉන්දියාව, දකුණු කොරියාව ඇතුළු රටවලින් ආනයනය කෙරේ. යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ශ‍්‍රී ලංකාවේ තෙල් බෙදාහරින අතර පිරිපහදුවක් ආරම්භ කර තෙල් ඔස්ට්‍රේලියාවට අපනයනය කරන ව්‍යාපාරික සැලැස්මක් අනුගමනය කරන්නේදැයි පැහැදිලි නැත.  

ආර්.එම්. පාක්ස් ආයතනය ඇමෙරිකානු ෂෙල් සමාගම ද සබඳතා ඇති ව්‍යාපාරයකි. සමාගම පසුගිය වසරේ සිය ව්‍යාපාරය වෙනත් සමාගමකට විකුණා ඇති බව අන්තර්ජාතික වාර්තා අනාවරණය කරයි. ටෙක්සාස් හි ව්‍යාපාර කරගෙන ගිය මෙම ආයතනය පසුව ෂෙල් සමාගමේ බෙදාහැරීම් අරඹන ලද අතර එයින් විශාල අවස්ථාවක් ලබා ගනී. වසර පහකට කලින් මෙක්සිකෝවේ තෙල් බෙදාහැරීමට හා අලෙවියට ඉදිරිපත්ව ඇති බව දැක්වේ.

♦ ලංකා ඉන්දියන් ඔයිල් හා ඛනිජ තෙල් සංස්ථාව 

ඛනිජ තෙල් සංස්ථාව 1962 වසරේදී ආරම්භ කර ඇති බව දැක්වේ. සංස්ථාව සතුව තෙල් බෙදාහැරීමේ පිරවුම් හල් තුන්සියයක් තිබුණි. ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට සියයක් පැවැරීමෙන් පසු ඉතිරි වූයේ දෙසියයකි. පෞද්ගලික පිරවුම් හල් පවත්වාගෙන යන ස්ථාන 1,200ක් වන අතර ඒවා සංස්ථාවේ ස්ථිර ගැනුම්කරුවෝය. 

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සතුව අලුත් ෂෙඩ් විවෘත කිරීම සමඟ පවතින ප‍්‍රමාණය දෙසිය දෙකක් දක්වා වර්ධනය කරගෙන තිබේ. තෙල් ගෙන්වීම, බෙදාහැරීම හා අලෙවියේදී තරගකාරීව කටයුතු කරන ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ලාභ උපයයි. තෙල් සංස්ථාවේ 2021 වසරේ අලාභය බදු ගෙවීමට පෙර රු. බිලියන 82 ක් බව අලුත්ම මහ බැංකු වාර්තාව දක්වයි. බදු ගෙවූ පසු මෙම අලාභය තවත් වැඩි වේ. රාජ්‍ය බැංකුවලට ගෙවන්නට ඇති ණය ප‍්‍රමාණය රු. බිලියන 505 කි. වාණිජ බැංකුවල පොලිය ඉහළය. 20% ක පොලියක් ගෙව්වද අවුරුද්දකට බිලියන සියයක් ණය පොලිය වශයෙන් ගෙවන්නට සිදුවේ. ඉන්ධන මිල දී ගන්නා මහජනතාව මෙම ණය හා පොලිය වන්දි වශයෙන් ගෙවමින් සිටිති. නිවෙසට විදුලිය එන විට දැවෙන තෙල් ප‍්‍රමාණය අනුව එය ඉහළ නගී. බස් රථයක, දුම්රියක හෝ තමන්ගේ වාහනයක ගමන් කිරීමේදී පවා දහනය කරන ඉන්ධනවලට එහි පිරිවැයට අමතරව පොලිය ද එකතු වී ඇති බව මතක තබාගත යුතුය. නිවැරදි පරිපාලනයක්, දූරදර්ශී ප‍්‍රතිපත්ති අනුගමනය කළහොත් ආයතනවලට ලාභ ඉපැයිය හැකිය. ඉන්දියාවේ රාජ්‍ය ව්‍යවසාය ශ‍්‍රී ලංකාවේ ද ව්‍යාපාර කරගෙන යන නමුත් තෙල් ගෙන්වීම හා බෙදාහැරීමෙන් ලබන අලාභය ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායක අකාර්යක්ෂමතාව පැහැදිලි කරයි. මේවායේ උන්නතියට කටයුතු නොකිරීම හේතුවෙන් චීන, ඔස්ට්‍රේලියා හෝ ඇමෙරිකා සමාගම් ගෙන්වා ව්‍යාපාර පවරන්නට සිදු වී තිබේ. මෙම සමාගම් තුන පැමිණියහොත් ශ‍්‍රී ලංකාවේ ඛනිජ තෙල් අලෙවි කරන සමාගම් පහක් කටයුතු කරනු ඇති අතර අනාගතයේදී පොසිල ඉන්ධන භාවිත කිරීම පාලනය කරන සහ පරිසර හිතකාමී බලශක්ති ප‍්‍රභවවලට මාරුවෙන උවමනාවක් රහිත බව මෙම ආයෝජන කැඳවන ආකාරය අනුව සනාථ වේ. 

වසර 2050 වනවිට බොර තෙල් ඉල්ලුම පහළ වැටෙතැයි පර් යේෂකයෝ දක්වති. එවැනි පසුබිමක රටට බොර තෙල් පිරිපහදුවක් කුමටද? 1995 – 2000 කාලයේදී ලෝකයේ වාර්ෂික බොර තෙල් ඉල්ලුම වැඩිවීමේ වේගය 1.3% කි. එය වසර 2035 පසු හරි අඩකින් පහත වැටෙනු ඇතැයි සැලකේ. ලෝකයේ බලශක්ති අවශ්‍යතාවය වසරක් පාසා 30% කින් ඉහළ යන්නට ඉඩ ඇති බවද සලකා බැලිය යුතු කරුණකි. එසේම සූර්ය බලශක්තිය වෙනුවෙන් ඇති ඉල්ලුම ඉදිරි වසර දහය තුළ 7.6% කින් වර්ධනය වනු ඇති අතර එයින් පසු එහි වේගය තවදුරටත් වර්ධනය වීමට ඉඩ තිබේ. එයට හේතුව සූර්ය කෝෂ ඇතුළු මෙවලම්වල මිල පහත වැටෙන අතර ඒ වනවිට සූර්ය විදුලිය ගබඩා කරගත හැකි තරමට තාක්ෂණය දියුණු වනු ඇති බව කියැවේ. 

♦ පරිවර්තනයකින් පසු අඩු මිලට තෙල් 

ජාත්‍යන්තර දත්ත අනුව ඛනිජ තෙල් බෙදාහරින ව්‍යාපාර එක් ලක්ෂ හැට දහසක් ලෝකය පුරා ඇත. ඉන්දියාවේ ඇති සමාගම් ගණන පන්දහස ඉක්මවයි. ඛනිජ තෙල් හා ලිහිසි කාරක නිෂ්පාදන තරගකාරී අඩු මිලකට සැපයීමට මෙම ආයතන යුහුසුළු වෙමින් පසුවේ. තෙල් සමාගම්වල පවතින අධිකාරී බලය අනුව තෙල් මිල උච්ඡාවචනය වේ. ආනයන මත යැපෙන රටවලට මෙම මිල ගණන් සමඟ කටයුතු කරන්නට සිදු වේ. ඉන්දියාවට පමණක් බොර තෙල් පිරිපහදු කරන කම්හල් විසි තුනක් තිබේ. විසි හතර වැනි පිරිපහදුව රාජස්ථානයේ ඉදිවෙමින් පවතී. වසර 2025 වනවිට නිෂ්පාදන අලෙවි කර ගැනීමේ ඉලක්කයක් ඇති රාජස්ථාන් ප‍්‍රාන්තයේ දැවැන්ත තෙල් පිරිපහදුවක් ඉදිකරන පරිවැය වෙනුවෙන් ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් බිලියන 5.4 ක් ආයෝජනය කර ඇත. ලෝකයේ වැඩිම ජනගහනය සමඟ දැවැන්ත බලශක්ති පරිභෝජනයක්, අපනයන වෙළෙඳපොළක් අත්පත් කරගෙන ඇති ඉන්දියාව සමඟ ඛනිජ තෙල් කර්මාන්තයේ හවුල්කාර ආයෝජන ශ‍්‍රී ලංකාවට ඉතා වැදගත් විය හැකිය.

ඉන්දියාව හා රුසියාව සමඟ මිත‍්‍රශීලීභාවයක් ඇත. ජාත්‍යන්තර ප‍්‍රජාව සම්බාධක පනවන නමුත් ඉන්දියාව රුසියාවෙන් බොර තෙල් මිල දී ගනිමින් සිටී. 2022 වසරේ එකම තෙල් බැරලයක් හෝ මිල දී නොගෙන සිටි ඉන්දියාව දැන් අඩුම මිලකට තෙල් මිල දී ගැනීම සඳහා රුසියාව සමඟ ගිවිසුමකට එළැඹ ඇත. ඉන්දියාවේ දත්ත අනුව 2023 වසරේ අප්‍රේල් මාසයේදී බොර තෙල් බැරල් මිලියන දෙකක් රුසියාවෙන් මිල දී ගෙන ඇති අතර එය එරට සමස්ත ඛනිජ තෙල් ආනයනයෙන් 44% කි. 

චීනය, ඉන්දියාව හෝ ඇමෙරිකාව වැනි රටවලට හා සමාගම්වලට වෙළෙඳපොළ පාලනය කළ හැක. මාසයකට ඉන්ධන නැව් හතරක් ගෙන්වන ශ‍්‍රී ලංකාව ලෝක තෙල් වෙළෙඳාමේ කුඩා ඒකකයකි. බලවත් සමාගම්වලට අනුව හැසිරීම වෙනුවට සමාගම්වල ආයෝජන රටට කැඳවා නිෂ්පාදන අපනයනය ද අරමුණු කරගෙන ඛනිජ තෙල් ගෙන්වීම හා බෙදාහැරීමේ කර්මාන්තයේ විවිධාංගීකරණයක් ඇති කළහොත් අඩු මිලට පාරිභෝගිකයන්ට සපයන අතර විනිමය ඉපැයීමට ද අවස්ථාවක් තිබේ.

♦ සාරා කන්දෙගොඩ (දේශය)


බීබීසී සිංහල (2022 මාර්තු 10)

ලංකා IOC සමාගම මාර්තු 10 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් හා පෙට්‍රල් මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව සියලු වර්ගවල ඩීසල් ලීටරයක් සියයට 54කින් එනම් රුපියල් 75කින් සහ පෙට්‍රල් ලීටරයක් සියයට 12කින් එනම් රුපියල් 50කින් ඉහළ දමා ඇත. ඒ අනුව ඩීසල් ලීටරය රුපියල් 214ක් ද පෙට්‍රල් ලීටරය රුපියල් 254ක් ද වේ.

මෑත ඉතිහාසයේ වැඩිම අගයකින් ඉන්ධන මිල ඉහළ දැමු පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා IOC සමාගම සඳහන් කළේ, රුපියලේ අගය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීම මත ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ බවයි.

රුසියනු තෙල් හා නිශ්පාදන සඳහා පූර්ණ තහනමක් පැනවීමේ අපේක්ෂාව මත ද තෙල් මිල ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන ලංකා IOC සමාගම සඳහන් කළේ, 2008 වසරට පසු ඉහළම මට්ටමට ජත්‍යන්තර ඉන්ධන මිල ගණන් ළඟා වී ඇති බවයි.

ලංකා IOC සමාගම පසුගිය මාසයේ අවස්ථා දෙකකදී ද ඉන්ධන මිල ගනන් ඉහළ දැමුවේය.

ඒ අනුව 2022 පෙබරවාරි 25 වැනිදා ඉන්ධන මිල ඉහළ දැමූ අතර එහිදී පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 15කින් ඉහළ දැමුවේය.

එයට පෙර 2022 පෙබරවාරි 06 වැනිදා ද ලංකා IOC සමාගම විසින් ඉන්ධන මිල ඉහළ දැමූ අතර එහිදී පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමන ලදි.

පසුගිය වසරේ දෙසැම්බර් 21 වැනිදා ලංකා IOC සමාගම පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් රුපියල් 177 ක් දක්වාත් ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් රුපියල් 121ක් දක්වාත් ඉහල දැමිණි.

ඒ අනුව මේ වසරේ මෙතෙක් පෙට්‍රල් ලීටරයක් රුපියල් 77කිනුත් ඩීසල් ලීටරයක් රුපියල් 93කිනුත් ඉහළ දමා ඇත.

එහෙත් 2021 දෙසැම්බර් 20 වනදායින් පසු මේ වන තෙක් ලංකා ඛනිජතෙල් සංස්ථාව තම ඉන්ධන මිල ඉහළ දමා නැති අතර සිපෙට්කෝ ඉන්දන හල් පෙට්‍රල් ලීටරයක් රුපියල් 177ක ටත් ඩීසල් ලීටරයක් රුපියල් 121ක මුදලකටැහැ අලෙවි කරමින් පවතී.

ආර්ථික විශේෂඥයින් දිගින් දිගටම රජයට පවසන්නේ ඛනිජතෙල් සංස්ථාවේ පාඩුව අවම කිරීම සඳහා සිපෙට්කෝ ඉන්දන හල වලත් ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බවයි.

මේ අතර පසුගිය දා මහබැංකුව තම මුල්‍ය ප්‍රතිපත්ති විවරණය කරමින් රටේ මුල්‍ය ප්‍රතිපත්ති සම්පාදකයා වන මහ බැංකුව රාජ්‍ය ආදායම් ප්‍රතිපත්තිය වෙනස්කිරීමට අදාල නිර්දේශ රාශියක් ඉදිරිපත් කෙරිණ. එම යෝජනාවන් අතර වහාම ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වැඩි කිරීම යෝජනා කර තිබුනත් මෙතෙක් රජය ඒ කෙරෙහි අවධානය යොමුකර නොමැත.

මහ බැංකුව මාර්තු 7 සඳුදා සාර්ව ආර්ථික ස්ථායීතාව ශක්තිමත් කිරීම සඳහා විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලී බවක් සඳහා ඉඩ හැරියේය. ඒ අනුව අමෙරිකානු ඩොලර්යට සාපේක්ෂව රුපියලේ අගය වෙළදපල අගය මත තීරණය වීමට මහ බැංකුවැ ඉඩ හැරිය අතර මේ වන විට ඇමරිකානු ඩොලරයකට රුපියල් 260 කට වැඩි මිලක් අද (මාර්තු 10) අන්තර් බැංකු විදේශ මුල්‍ය වෙළඳපොළේදී තීරණය විය.

විදේශ මුදල් තැරැව්කරුවන් බීබීසී සිංහල සේවය සමග පැවසුවේ රටේ මේ වන විට පවතින විදේශ විනිමය අර්බුදයට හේතුව රුපියල කළමනාකරණය කිරීම පිළිබඳව පවතින ගැටලුව සහ රජයට ලැබිය යුතු ආදායම් අහිමි වීම බවයි. එම මුලික ප්‍රශ්න වලට නිසි පිළිතුරු ලබා නොදී විදේශ විනිමය අනුපාතිකය නිදහසේ පා කිරීමෙන් පමණක් රටේ පවතින ආර්ථික අර්බුදයට පිළියම් යෙදිය නොහැකි බවට ආර්ථික විශේෂඥයින් පවසයි.

මේ අතර ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් යළි සලකා බැලිය යුතුව ඇතැයි ඛනිජ සංස්ථාව සභාපති සුමිත් විජේසිංහ අද (මාර්තු 10) ප්‍රකාශ කළේය. ඔහු පවසා සිටියේ ලෝක වෙළඳපොලේ පවතින ඉන්ධන මිල සමග සලකා බැලීමේදී මෙරට රජය විශාල අලාභයක් ලබමින් ඉන්ධන ආනනය කරන බවයි.

රජය මැදිහත් වී ඉන්ධන මිල යම් සාමාන්‍ය මට්ටමක පවත්වාගෙන කළමනාකරණය ගැනීමට උත්සාහ දැරුවද, පවතින තත්ත්වය රජයට ද දරාගත නොහැකි වී ඇතැයි ඔහු තවදුරටත් පැවසීය.

ඔහු සඳහන් කළේ එබැවින් ඉන්ධන මිල සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බවයි.

“පාඩුව ඩීසල් ලීටරයකින් රුපියල් 128ක්, පෙට්‍රල් වලින් රු.80 ක අලාභයක් වෙනවා ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ යාමත් එක්ක රජය මැදිහත්වෙලා යම් කළමනාකරණයක් කරලා බලාපොරොත්තු වුණා මිල යම් ප්‍රමාණයක සාමාන්‍ය අගයක තියෙයි කියලා. අද තියෙන තත්ත්වය නම් මං හිතන්නෑ රජයටත් දරාගන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ ඒක ගැන මිල ගැන අපි ඇත්ත වශයෙන්ම කල්පනා කරන්න ඕනේ” ඔහු කියා සිටියේය.

ඉන්ධන ගැටලුව ලබන සතියෙන් ඉවරයි – බලශක්ති අමාත්‍යාංශ ලේකම්

ඉන්ධන මිල නුදිරේදී ඉහළ යා හැකි ද යන ප්‍රශ්නයට අද පවතී මාධ්‍ය හමුවකදී පිළිතුරු දුන් බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගාපවසා සිටියේ, ඒ හා සම්බන්ධ කතිකාවක් ඇතත් එවැනි තීරණයක් ගතයුත්තේ කල්පනාකාරීව බවයි.

මෙරට ඉන්ධන හිඟයක් නොතිබූ බවත්, නිසි ලෙස ඉන්ධන සැපයීම බොහෝ අවස්ථාවන්වලදී සාමාන්‍ය පරිද සිදුකළ ද දෛනික ඉන්ධන පරිභෝජනය ඉහළ ගොස් ඇති බව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළේය.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ, දේශීය මිල ද ඉහළ යා හැකි බව ට බියෙන් බොහෝ පාරිභෝගිකයන් ඉන්ධන රැස්කිරීමට යොමුවීමේ ප්‍රවණතාවක් පැවතුණ බවට ඔහු චෝදනා කළේය.

ආනයනය කරන ඉන්ධන සඳහා ඉතා ඉහළ ඩොලර් ප්‍රමාණයක් ගෙවිය යුතු බවත්, ඉන්ධන පරිභෝජනය මේ අවස්ථාවේදී නිසි කළමනාකාරිත්වයකින් යුතුව සිදුකරන්නේ නම් එය රටට යහපතක් වන බවත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පැවසුවේය.

මේ වන විට රට පුරා පවතින ඉන්ධන සැපයීම සම්බන්ධ ගැටලු මෙම සෙනසුරාදා දිනය වන විට සමනය වී එළැඹෙන සඳුදා සිට යථාතත්වයට පත්වනු ඇති බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා පැවසුවාය.

“බලශක්තිය රටට ශක්තියක්” මැයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවේ දී ලේකම්වරිය මේ බව කියා සිටියාය.

මේ වන විටත් කොළඹ වරායට ඩීසල් නැවක් පැමිණ ඇති බවත් මෙම මස තුළ ඉන්ධන නැව් තොග හතරකින් ඩීසල් මෙට්‍රික් ටොන් 172,000ක් ලැබීමට නියමිත බවත් ඇය පැවසුවාය.

එසේ ලැබෙන ඉන්ධන බෙදාහැරීම වේගවත්ව සිදුකරන බවත් බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා සඳහන් කළාය.

විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවි තෙල් නැව් තොග කිහිපයක් ද ලැබී ඇති බවත් (මෙට්‍රික් ටොන් 30,000) එමඟින් දැවී තෙල් භාවිතා කරන වෙස්ට් කෝස්ට් වැනි විදුලි බලාගාර සම්පුර්ණ ධාරිතාවයෙන් යුතුව ක්‍රියාත්මක කළහැකි බවත් ලේකම්වරිය පෙන්වා දෙනු ලැබුවාය.

මාර්තු 20 වන දින තවත් දැවි තෙල් නැව් තොග ලැබීමට ද නියමිතව ඇති බවට ඇය සඳහන් කළාය.

ඉන්ධන තොග ලැබීමෙන් පසු දැනට පවතින ඉන්ධන සහ විදුලි බල ගැටලු ඉතා ඉක්මනින් පහව යනු ඇති බවට අය පැවසීය.

“අපගේ සැළසුම් අනුව අවශ්‍ය ඩොලර් සපයාගැනීම පිළිබඳව ද අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ සඳහා ජනාධිපති ලේකම්, භාණ්ඩාගාර ලේකම් සහ මහබැංකු අධිපතිවරයා ද නිරන්තරයෙන් සොයාබලා වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සහයෝගය ලබාදෙමින් සිටීනවා,” යනුවෙන් ලේකම්වරිය තවදුරටත් පැවසුවාය.

බලශක්ති ක්ෂේත්‍රය හා සම්බන්ධ ඉදිරි සැලසුම් පිළිබඳවද පැහැදිලි කළ ලේකම් ඔල්ගා සඳහන් කළේ, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු ත්‍රිකුණාමල තෙල් ටැංකි නවීකරණය කිරීමකින් පසු කොළඹ හරහා නොගොස් උතුර, උතුරු මැද සහ බදුල්ල වැනි ප්‍රදේශ වෙත තෙල් සැපයීම ත්‍රිකුණාමලය හරහා සිදුකළ හැකි බවයි.

එමගින් රුපියල් මිලියන 800ක් පමණ මාසිකව ඉතිරි කර ගැනීමට හැකි වන බව ඇය සඳහන් කළාය.

ඖෂධ මිල ඉහළ දැමීමටත් අවසර

ඩොලරයේ අගය ඉහළ යෑමට සාපෙක්ෂව ඖෂධ මිල සාධාරණ මිලකට ඉහළ නැංවීමට ඖෂධ ආනයනකරුවන්ට අවසර ලබාදීමට අද තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේය.

ඔහු පවසා සිටියේ එම තීරණය පිළිබඳව ඖෂධ ආනයනකරුවන් අද දැනුවත් කළ බවයි.

ඒ අනුව වෙළෙඳපොළේ ඖෂධ හිඟයක් ඇති නොවනු ඇතැයි ඔහු සඳහන් කළේය.

ඩොලරයේ අගයට සාපෙක්ෂව ඖෂධ මිල ගණන් ඉහළ දැමීම සඳහා සාධාරණ ක්‍රමවේදයක් සකස් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරත් පැවසුවේය.

මිල වැඩි වෙන අනෙක් දේවල්

මේ අතර ප්‍රීමා සමගම තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 35-45ත් අතර මිලකින් හා සෙරන්ඩිප් සමාගම සිය තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 35කින් ඉහළ දමා ඇත.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ පවතින තත්ත්වය හමුවේ පාන් රාත්තලක මිල අද (මාර්තු 11) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 30 කින් ඉහළ දමන බවයි. ඒ අනුව නව මිල රුපියල් 110-130 අතර මිලක් වන බව එම සංගමය පැවසීය.

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ බත් පැකට්ටුවක මිල රුපියල් 20කින්, කොත්තු ඒකක මිල රුපියල් 10කින් හා කෙටි ආහාර මිල රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කල බවයි.

සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ ගුවන් ප්‍රවේශපත් ගාස්තු සියයට 27% කින් වැඩි කරනු ඇති බවයි.

සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමයේ ලලිත් ධර්මසේකර පවසුවේ ත්‍රිරෝද රථ ගාස්තුද පවතින තත්ත්වය යටතේ වැඩිකිරීමට තීරණය කළ බවයි.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here