1938දී එක්සත් රාජධානියේ පිහිටි ඉම්පීරියල් කෙමිකල් සමාගමේ පර්යේෂකයන් දෙදෙනෙක් පොලිමර් සහ ප්ලාස්ටික් සම්බන්ධයෙන් පර්යේෂණයක් කරමින් සිටියහ. එම පර්යේෂණය වැරදිණ. ඔවුන්ට අවශ්‍ය වූ පොලිමර් වර්ගය වෙනුවට ලැබුණු ප්‍රතිඵලය වුණේ පොලිතින් නමැති අලුත් ද්‍රව්‍යයකි. මෙය ඔවුන් සෙවූ පොලිමර් වර්ගයට වඩා අනර්ඝ නිෂ්පාදනයක් බව ඉම්පීරියල් කෙමිකල් සමාගමේ අධ්‍යක්ෂවරු තීරණය කළහ. ඒ අනුව එම සමාගම ලොව මුල් වතාවට පොලිතින් බෑග් නිෂ්පාදනය පටන් ගත්තේය. අද වනවිට මේ පොලිතින් බෑග් වසංගතයක් වී තිබේ. හිමාල කන්ද මුදුනේ ද මරියානා මුහුදු ආගාධය පතුලේ ද සහරා කාන්තාරය මැද්දේ ද හඳේ ද අද පොලිතින් කැබලි තිබේ. පොලිතින් හඳට ගියේ ඇපලෝ 11 යානය තුළ පොලිතින් බෑග් තිබූ බැවිනි. අද වනවිට වාර්ෂිකව පොලිතින් බෑග් ට්‍රිලියනයක් පමණ ලොව පුරා නිෂ්පාදනය කරනු ලැබේ. එසේම කෝටි ගණනක ජනතාවක් පොලිතින් බෑග් නිසා ජීවත් වෙති. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව ගතහොත් පොලිතින් බෑග් නිසා අවම වශයෙන් ලක්ෂයක්වත් ජීවත් වෙති. එය මෙසේය. කට්ටියක් පොලිතින් සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලංකාවට ගෙන ඒමේ ව්‍යාපාර පවත්වාගෙන යති. තවත් කට්ටියක් එම අමුද්‍රව්‍යවලින් පොලිතින් බෑග් නිෂ්පාදනය කරති. තවත් පිරිසක් එම පොලිතින් බෑග් ලොරිවල දමාගෙන ගොස් රට පුරා බෙදාහරිති. ඊළඟ කට්ටිය මෝටර් සයිකල්වල පොලිතින් බෑග් පටවාගෙන සිල්ලර කඩ ගාණේ ගොස් ඒවා බෙදති. අවසන් වශයෙන් ඊළඟ පිරිස බයිසිකල්වල තබාගෙන ගොස් පොලිතින් බෑග් විකුණති. ඒවා යන්නේ කුඩාම සිල්ලර කඩවලට ය. අප අවසන් වශයෙන් යැයි කීවාට මේ කතන්දරය මෙතැනින් නවතින්නේ නැත. ඒ විශාල පිරිසක් පරණ පොලිතින් බෑග් සහ ප්ලාස්ටික් එකතු කිරීම සඳහා කුණු ගොඩවල් අවුස්සන නිසාය. මේ පිරිස එම පරණ පොලිතින් බෑග් සෝදා වියළා කිලෝ ගණනින් බෑග් නිෂ්පාදකයන්ට විකුණති. බෑග් නිෂ්පාදකයෝ එම පරණ බෑග් ප්‍රතිචක්‍රීකරණය කර අලුත් බෑග් සාදති. පොලිතින් නිසා අවම වශයෙන් මේ රටේ ලක්ෂයක් දෙනා ජීවත්වන බව අප විසින් කියන ලද්දේ ඒ නිසාය. එහෙත් හරියට ගණන් හදා බැලුවොත් මේ ගණන ලක්ෂය ඉක්මවනවා ඇත. සාමාන්‍යයෙන් අපගේ ජනවහරේදී මේවා හඳුන්වන්නේ ෂොපින් බෑග් හෝ සිලි සිලි බෑග් වශයෙනි. අප මේ කතු වැකියේ පොලිතින් බෑග් යනුවෙන් ඉදිරියට ද සඳහන් කරන්නේ එකී සිලි සිලි බෑග් බව පාඨකයාට කියමු.
පසුගිය අවුරුදු කීපයේදී පොලිතින් බෑග්වලට විවිධ බාල්දි පෙරළිණ. එයට හේතු වන්නේ පොලිතින් බෑග් හා ප්ලාස්ටික් බෝතල් ප්‍රමුඛ පරිසර දූෂක සාධකයක් බවට පත්වීමය. මේ නිසා තුනී පොලිතින් බෑග් නිපදවනවා වෙනුවට ගනකම් ප්ලාස්ටික් බෑග් නිපදවන ලෙස ආණ්ඩු දෙක තුනක්ම පොලිතින් නිෂ්පාදකයන්ට නියෝග කළේය. එහෙත් එවිට පොලිතින් බෑග් නිෂ්පාදන මිල ඉහළ යන බැවින් ඒවායේ විකුණුම් මිල නගින නිසා පොලිතින් බෑග් නිෂ්පාදකයෝ එයට විරුද්ධ වූහ. තුනී බෑග් නිෂ්පාදනය කළොත් ඒවායේ බඩු දැමූ විට කඩාගෙන වැටේ. එබැවින් තුනී බෑග් හතරක්වත් එක තුළ එක බැගින් දමා ගනකම් බෑගයක් හදා ගැනීමට පාරිභෝගිකයාට සිදුවේ. පොලිතින් බෑග් මර්දනය කිරීම සඳහා හැම ආණ්ඩුවක්ම විවිධ ගේම් ගැසුව ද එය කවදාවත් හරි ගියේ නැත. එය සමාන වන්නේ මදුරු මර්දනයට ය. මේ රටේ ආණ්ඩු මදුරු මර්දනය සඳහා ඩීඩීටී ගැසුවේය. ටික දවසකින් මදුරුවා ඩීඩීටීවලට පුරුදු විය. ඊළඟට රජය කළේ මැලතියොන් ගැසීමය. මදුරුවා ඊට ද පුරුදු විය. මදුරු කොයිල්වල තත්ත්වය ද එසේමය. මීට අවුරුදු 50කට පමණ පෙර ලංකාවට හඳුන්වා දෙන ලද මදුරු කොයිල් එකට නූතන මදුරුවා පුරුදු වී සිටියි. අද මදුරු කොයිල් එක සත පහකටවත් ගණන් ගැනීමට මදුරුවා සූදානම් නැත. සමහරවිට මදුරුවන් හතර පස් දෙනකු එක්වී මදුරු කොයිල් එකක් ඔසවාගෙන පියාසර කළොත් පුදුම නොවන්න. සිලි සිලි බෑග් ජන ජීවිතය සමග දැඩි ලෙස බද්ධ වී තිබේ. කෙනෙක් වැඩ ඇරී ගෙදර එනවිට ගෙනෙන බඩු කඩදාසි බෑග්වල දැමීමට නොහැක. ඔහු එන්නේ බස් එකේ බැවින් ද ඔහු බස් එකේ එනවිට ඉතාම දරුණු ලෙස තදවන බැවින් ද බෑගය ඉරී බඩු විසිරී යයි. ඒ නිසා කඩදාසි බෑග් වැඩේ කීයටවත් හරියන්නේ නැත. හැබැයි යුරෝපයේ දියුණු රටවල සුපර් මාර්කට්වල පාවිච්චි කරන්නේ සිලි සිලි බෑග් නොව කඩදාසි බෑග් ය. ඒ රටවල හැමකෙනකුටම පෞද්ගලික මෝටර් රථයක් තිබේ. ඒ මිනිසුන් බඩු බෑග් කර ගසාගෙන පොදු වාහනවල ගමන් කරන්නේ නැත. මේ නිසා ඔවුන්ට බඩු විසිරී යෑමේ හෝ බෑග් කඩාවැටීමේ ප්‍රශ්නයක් ද ඇති වන්නේ නැත.
සිලි සිලි බෑග් පාවිච්චිය අධෛර්යවත් කිරීම සඳහා ආණ්ඩුව වෙනත් උපක්‍රමයක් යෙදීමට මේ දිනවල සූදානම් වෙයි. එනම් සිලි සිලි බෑග්වල බඩු දමන විට එම බෑග් සඳහා මුදල් අය කරන ලෙස වෙළෙඳුන්ට නියම කිරීමය. මෙය මළාට හරියන වැඩක් නොවේ. බෑග් එකට සල්ලි ගන්නවා ද නැද්ද යන්න තීරණය වන්නේ වෙළෙන්දා සහ ගනුදෙනුකරුවා අතර තිබෙන සම්බන්ධය අනුව ය. සාමාන්‍යයෙන් රුපියල් 5ක් පමණ වටිනා සිලි සිලි බෑග් එකක් තුළ රුපියල් 5000ක පමණ බඩු දමන අවස්ථා තිබේ. රුපියල් 5000ක බඩු ගන්නා පාරිභෝගිකයාගෙන් සිලි සිලි බෑග් එකට රුපියල් 5ක් අය කිරීමට වෙළෙන්දාට පිස්සු නැත. මෙසේ රුපියල් 5ක් අය කිරීමට ගියහොත් පාරිභෝගිකයාගේ හිත බිඳී වෙළෙන්දාට පාරිභෝගිකයා සදහටම නැතිව යෑමට ඉඩ තිබේ. ආණ්ඩුවල තිබෙන මේ උප්පරවැට්ටි ඉතා බොළඳ සහ ප්‍රාථමික උප්පරවැට්ටි ලෙස සැලකිය යුතුය. ඒ නිසා සිලි සිලි බෑග් සම්බන්ධයෙන් වෙනත් පියවරක් ගැනීමට ආණ්ඩුවට සිදුවනවා ඇත.
Saru FM Media