සිරුරේ බර අඩු කර ගන්න නම් හරියට විද්‍යාත්මකව ඇවිදින්න දන්නවාද?

0
10


පරිණාමයෙන් දියුණු තත්ත්වයට පත්ව ඇති මිනිසාට පාද උරුම වී ඇත්තේ ඇවිදීමටය. අප ඉතා සරල ලෙස සිතුවත් ඇවිදීම යනු සංකීර්ණ ක්‍රියාවකි. අප ඇවිදින්නේ පොළොවේ ඇති ගුරුත්වාකර්ෂණයට එරෙහිව වන අතර අඩියක්‌ පෙරට තැබීම සඳහා ඔසවන සෑම පියවරකදීම ගුරුත්වාකර්ෂණයට එරෙහිව අපි බලයක්‌ යොදවන්නෙමු. එනිසා නිරෝගී දිවියක්‌ සඳහා ඇවිදීම තරම් හොඳ ව්‍යායාමයක්‌ තවත් නැත.

රෝග පාලනය කර ගැනීමට ව්‍යායාමයක්‌ ලෙස ඇවිදීම සිදුකිරීමේදී සාමාන්‍ය ලෙස ඇවිදීම තුළින් එම ලෙඩ රෝග පාලනය කරගත නොහැකිය. සාමාන්‍යයෙන් ඇවිදින වේගයට වඩා 20%ක පමණ වේගයෙන් ඇවිදීම සිදු කළ යුතුය. හිස කෙළින් තබා ගනිමින් ඉදිරියට ඇස් හරවාගෙන ගමන්කළ යුතුය. දෑත් අංශක 90 කට නවාගෙන උරහිසින් ඉදිරියට සහ පසුපසට විහිදුවමින් ඇවිදිය යුතුය. ඇවිදිනවිට කටින් හුස්‌ම නොගත යුතු අතර නාසයෙන් හුස්‌ම ගනිමින් පෙනහළු වෙත හොඳින් පිරිසිදු වාතය ලබාදිය යුතුය. ව්‍යායාමයක්‌ ලෙස ඇවිදීම වඩාත් සුදුසු වන්නේ සාමාන්‍ය පරිසරයේ ගමන් කිරීමය. වෛද්‍ය පිළිගැනීම අනුව දෙපා අඩිය පොළවට තබමින් කොන්ද කෙළින් තබාගෙන ඇවිදීම ඉතා නිවැරදි ඇවිදීම වේ.

ශ්‍රී ලංකාවේ අප ඇවිදීම ව්‍යායාමයක්‌ ලෙස සිදුකරන විට ඒ සඳහා අඳින පළදින ඇඳුම්, පැළඳුම් සපත්තු ආදිය පිළබඳවත් වඩාත් සැලකිලිමත් විය යුතුය. ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක් නිසා උෂ්ණත්වය ඉහළ මට්‌ටමක පවතී. එබැවින් සිරුරින් පිටවන දහදිය උරා ගන්නා කපු ඇඳුම් භාවිත කිරීම වඩාත් උචිතවේ. තදවූ නයිලෝන් ඇඳුම් ඇඳ ඇවිදීමෙන් සිදුවන්නේ සිරුරේ උෂ්ණත්වය ඉහළ ගොස්‌ වකුගඩුවලට බලපෑම් ඇතිවීමය. එනිසා නිරෝගි වන්නට ව්‍යායාමයක්‌ ලෙස ඇවිදින්නට ගොස්‌ තවත් ලෙඩ රෝග ඇති කර ගැනීමෙන් වැළකිය යුතුය. හිරු එළිය හොඳින් ඇති විට ඇවිදින විට සුදු පැහැති ඇඳුම් ඇඳීමෙන් හිරු එළිය පරාවර්තනය වන නිසා අධික උෂ්ණත්වයක්‌ සිරුරට ඇති නොවේ. ඇවිදීම සඳහා පාවහන් භාවිතා කිරීමේදී තෝරා ගත යුත්තේ එහි අඩිය එබෙන සුලු සහ දෙපාවල ඇඟිලි සහ සපත්තුවේ ඉදිරි කෙළවර අතර අඟල් 1/2 ක පමණ පරතරයක්‌ සහිත ප්‍රමාණයෙන් යුත් පාවහන්ය. කපුවලින් නිපදවූ මේස්‌ පැළඳිය යුතු වේ නැතහොත් ව්‍යායාම කිරීමේදී දෙපාවල ඇතිවන අධික උෂ්ණත්වය නිසා ඇඟිලි තැම්බේ.

ව්‍යායාමයක්‌ ලෙස ඇවිදීමේදී සිරුරින් අධික ලෙස දහදිය පිටවන නිසා සිරුර විජලනයෙන් ආරක්‌ෂා කරගත යුතුය. ඇවිදීමට පෙර, ඇවිදින විට සහ ඇවිදීම අවසන් කළ පසු ජලය ඉතා ස්වල්පය බැගින් පානය කිරීමට හුරු විය යුතුය.

මෙලෙස ව්‍යායාමයක්‌ ලෙස නිවැරදිව ඇවිදීමට හුරුවීමෙන් අප බලාපොරොත්තු වන සිරුරේ නිරෝගී බව ලබාගත හැකිය. එය ජීවිතයේ සාමාන්‍ය ක්‍රියාවක්‌ බවට පත්වීමෙන් අපට ඉතා පහසුවෙන්  ඇවිදීමට හැකියාව ලැබේ. එනිසා ඇවිදීම නිවැරදිව සිදුකිරීමෙන් ඔබ බලාපොරොත්තුවන ලෙස නිරෝගීව සිටින්නට හැකිය.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here