“සිරි දළදා වන්දනාව” ඇරඹේ – සුදුවතින් සැරසුණු සැදැහැවතුන්ගෙන් මහනුවර පිරී ඉතිරෙයි

0
10


මෙරට බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ සේ සැළකෙන මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩ වෙසෙන අති උතුම් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව වසර 16කට පසු අද පස්වරුවේ මෙරට ජනතාවට විවර වුණා. 

එම අවස්ථාව උදා කර දෙමින් “සිරි දළදා වන්දනාව” අද පස්වරුවේ සමාරම්භ කෙරුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන්. 

මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි මහානායක ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් අනතුරුව එම සමාරම්භය සනිටුහන් කෙරුණා. 

පස්වරු 01යි 30ට පමණ ජනාධිපතිවරයා ශ්‍රී දළදා මාළිගාවේ දළදා සමිඳුන් වැඩවෙසෙන විශේෂ කුටිය වෙත ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගත් අතර එම අවස්ථාවට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද එක්ව සිටියා. 

බුද්ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු මැති ඇමතිවරුන්,  වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බි්‍රතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් තානාපතිවරුන් හා මහා කොමසාරිස්වරුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. 

ජනාධිපතිවරයා දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව සැදැහැවතුන්ට දළදා සමිඳුන් සියැසින් දැක වන්දනා කර ගැනීමේ විරල අවස්ථාව උදා වුණා.

දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා පැමිණ සිටින සැදැහැවතුන්ගෙන් මහනුවර නගරය පිරී ඉතිරී ගොස් තිබෙනවා. 

පෝළිම් තුනක් ඔස්සේ දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර කිලෝමීටර් ගණනාවක් පුරාවට එම පෝළිම් විහිද තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

ඒ පිළිබඳ නවතම තොරතුරු දැනගැනීම සඳහා අප සම්බන්ධ කර ගත්තා මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර.

Neth Sound · COR KAMAL 01

මේ අතර සිරි දළදා වන්දනාවේ දෙවන දිනය වන හෙට දිනයේ සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.30 දක්වා දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව සලසා දී තිබෙනවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here