මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයට ප්‍රදීප් නිලංග දෑල මහතා තෙවන වරත් තේරී පත්විය.
මේ අනුව ප්‍රදීප් නිලංග දෑල මහතාට 2035 දක්වා වසර 10 ක කාලයක් පුරා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය හෙබවීමේ අවස්ථාව හිමිවෙයි.
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයට 2005 වසරේ දී ඡන්ද 199 ක් ලබා ගනිමින් මුල්වරට තේරී පත්වූ නිලංග දෑල මහතා 2005 ජූලි මස 01 වන දින පැවති ඡන්දයෙන් පළමු වරට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ වශයෙන් තේරී පත්විය.
2015 සැප්තැම්බර් මස 08 වන දින පැවති ඡන්දයෙන් මොහු දෙවන වරටත් අවුරුදු දහයක් සඳහා දියවඩන නිලමේ වශයෙන් තේරීපත්විය. 2015 වසරේ දී යළිත් එම ධුරයට පත්වූයේ ඡන්ද 205 ක් ලබා ගනිමිණි.
තෙවන වරටත් ඡන්ද 195ක් ලබා 2025 වසරේ දියවඩන නිලමේ ධුරයට පත්වීමත් සමග වැඩිම කලක් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය දැරූ පුද්ගලයා ලෙස නිලංග දෑල මහතාගේ නම ඉතිහාසයට එක්වෙයි.
ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරවරයා පත්කර ගැනීමේ රැස්වීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී ඊයේ 7දා පැවැත්විණි.
මෙවර දියවඩන නිලමේ ධුරය සඳහා ප්‍රදීප් නිලංග දෑල, දමින්ද උඩුරාවණ, ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක, මහාචාර්ය තිලක් සුබසිංහ, ගාමිණි කළුහෙන්දිවෙල, රොෂාන් ප්‍රියදර්ශන හා නන්ද මඩුගල්ලේ ඉදිරිපත් වන බව කල්වේලා ඇතිව ප්‍රසිද්ධ කර තිබිණි.
එසේ වුවත් මහාචාර්ය තිලක් සුබසිංහ, ගාමිණි කළුහෙන්දිවෙල, රොෂාන් ප්‍රියදර්ශන හා නන්ද මඩුගල්ලේ යන අයගේ නම් යෝජනා කිරීමට ඡන්ද දායකයින් කිසිවකු හෝ ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔවුන්ට රැස්වීම් ශාලාවේ රැඳී සිටීමට අවසර නොලැබිණි.
තරිඳු දෑල මහතාගේ නම යෝජනා ස්ථිර වුවත් ඔහු පසුව අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්විය.
නම් යෝජනා ස්ථිරත්වයෙන් දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේ ඡන්ද වීමසීම සිදුවන අවස්ථාවේ අපේක්ෂකත්වය හිමි වූයේ වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, පස්ගම ශ්‍රී නාථ දේවාලයේ සහ මහනුවර මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ හා ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ සහ මහනුවර මහා නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක යන මහත්වරුන්ටය.
මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ද උඩරට රාජධානි බල ප්‍රදේශයට අයත් රජමහා විහාරස්ථානවල ගිහි පැවිදි භාරකරුවන්ද බස්නායක නිලමේවරු සහ ප්‍රාදේශීය ලේකම්වරුද දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබිණි.
මෙහි දී සමස්ත 267 ක් වූ ඡන්ද සංඛ්‍යාවෙන් ප්‍රදීප් නිලංග දෑල මහතාට ඡන්ද 195 ක් ද දමින්ද උඩුරාවණ මහතාට ඡන්ද 50 ක්ද ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක මහතාට ඡන්ද 13 ක්ද ද ලැබිණි.
රත්නපුර දිස්ත්‍රික්කයේ දෑල ගොඩැල්ල වලව්වෙහි ඩික්සන් සරත්චන්ද්‍ර දෑල යුවළගේ පුත්‍රයා ලෙස වර්ෂ 1973 ඔක්තෝබර් මස 28 වෙනි දින ජන්ම ලාභය ලැබීය. අධ්‍යාපනය ලැබූයේ කොළඹ නාලන්දා විද්‍යාලයේය.
1999දී සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ද, 2001 වර්ෂයේදී රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ද තේරීපත් වූ මෙතුමා, 2004 වර්ෂයේදී දෙවන වරටත් සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ වශයෙන් පත්විය. ශ්‍රී ලංකා හීලෑ අලි ඇතුන් හිමි හාම්පුතුන්ගේ සංගමයේ සභාපතිවරයාය. ඔහු විසින් ඉටුකරනු ලබන ජාතික, ආගමික, සංස්කෘතික හා සමාජ මෙහෙවරයන් ඇගැයීමට ලක්කල ශ්‍යාම නිකායික ශ්‍රී රෝහණ පාර්ශවයේ සංඝ සභාව “බුද්ධ ශාසන බන්ධු” යන ගෞරව නාමයෙන් ද, 2005 දී කොළඹ නාලන්දා විද්‍යාලයේ නාලන්දා කීර්ති ශ්‍රී යන ගෞරව නාමයෙන් ද, සබරගමු විශ්වවිද්‍යාලය “සබරගමු සරසවි අභිරම්‍ය” යන ගෞරව සම්මානයෙන් ද පිදුම් ලැබ ඇත.
දළදා මාලිගාවේ පූජනීයත්වය, පෞරාණිකත්වය ආරක්ෂා කරමින් අද්‍යතනයට ගැලපෙන පරිදි, දෙස් විදෙස් සාධුජනයාගේ නොමද ගෞරවයට පාත්‍රවන පරිදි සංවර්ධනය කර ඇති බව පැහැදිලිව දැකගත හැක. ලෝක සම්භාවනාවට පාත්‍ර ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහැරේ සම්ප්‍රදායික උඩරට කලාවට නව ජීවයක් එක්කරමින් පෙරහැර සම්ප්‍රදාය තව තවත් ආරක්ෂා කරමින් වර්තමාන තත්ත්වයට පත්කිරීමට සුවිශේෂ කාර්ය භාරයක් ඉටුකර ඇත.
එමතුද නොව දුගී දුප්පත් ජනතාවට මූල්‍යමය හා ද්‍රව්‍යමය වශයෙන් සම්පත් බෙදා දෙමින් දිවයිනේ දුෂ්කර පළාත්වල වෙහෙර විහාර සංවර්ධන කර දීමට ද ඔහු කටයුතු කර ඇත. ශ්‍රී දළදා මාලිගාව මඟින් ගමින් ගමට දොරින් දොරට රැගෙන ගිය දැවැන්ත සමාජ සත්කාරක සේවාවක් ඉටු කර ඇත.
සමන්ති වීරසේකර
Saru FM Media







