සියලු‍ දෙනා සහාය දිය යුත්තේ ඇයි?

0
12

මේ රට වෙනුවෙන් කළ හැකි හොඳම දේ කිරීමට ආණ්ඩුව ඊයේ පටන් ගත්තේය. මේ හොඳම දේ වූ කලී, ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍යවලින් බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරයේ ආරම්භයයි. ලංකා ඉතිහාසය දෙස බලන විට හොඳ දේවල් ස්වල්පයක් සිදුවී ඇති බව අපට පෙනේ. ඉන් පළමුවැන්න ලංකාවට බුද්ධාගම ගෙන ඒමය. ධර්මාශෝක රජතුමා සිය පුත්‍රයා සහ දියණිය බුද්ධ ශාසනයට පූජා කර මේ දෙදෙනා ලංකාවට එවා බුද්ධාගම පැතිරවීමෙන් විශාල ආලෝකයක් අපේ ජන ජීවිතයට ලබා දුන්නේය. බුද්ධාගම මෙහි එන විටත් බෞද්ධයන් ස්වල්ප දෙනෙක් රට තුළ සිටියත් අපේ රටේ ප්‍රධාන ආගම වූයේ හින්දු ආගම ය. ධර්මාශෝක රජතුමා ද කලක් හින්දු ආගම ඇදහූ නරපතියෙකි. දරුණු ආක්‍රමණිකයකු වූ හෙතෙම බුදුදහමේ ආලෝකයෙන් සිත පැහැදී බෞද්ධයෙක් බවට පත්විය. ඊළඟට ලංකාවේ සිදු වූ හොඳම දේවලින් එකක් ලෙස 1948දී අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබීම සැලකිය හැකිය. ඉන්දියාව තම රටට නිදහස ලබා ගත්තේ ලේ බැරල්පිටින් හැලීමෙන් වුවද අපේ රටට නිදහස ලබාගැනීමේදී ලේ බෝතල් කාලක්වත් හැලුණේ නැත. මේ නිසා ලබාගත් නිදහසේ වටිනාකමක් ද අපට පෙනුණේ නැත. මේ රටේ සිදු වූ ඊළඟ හොඳ දේ නම් බණ්ඩාරනායක මැතිනිය සමගි පෙරමුණු ආණ්ඩුවේ අගමැතිනිය ලෙස බලයට පත්වූ පසු ජනරජ ව්‍යවස්ථාව ගෙනත් ලංකාව සහමුලින්ම බි්‍රතාන්‍යයෙන් නිදහස් වූ රටක් බවට පත් කිරීම ය. 1948 දී අප නිදහස් වුවද අපේ රටේ රජතුමා ලෙස එංගලන්තයේ මහ රජු හෝ මහ රැජන සලකන ලදී. ජනරජ ව්‍යවස්ථාව යටතේ එය ද අවලංගු විය. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ විධායක ජනාධිපති ව්‍යවස්ථාව ද මේ රටේ සිදු වූ හොඳ දෙයකි. මේ ව්‍යවස්ථාව නොතිබුණා නම් බෙදුම්වාදී යුද්ධය ජය ගැනීමට අපට කිසි කලකත් හැකි වන්නේ නැත. එයින් පසු මේ රටේ සිදු වූ හොඳම දෙය බෙදුම්වාදී යුද්ධය ජය ගැනීමය. යුද්ධය ජයගෙන රට සාමකාමී වූ පසු මේ රික්තයට යකෙක් රිංගා ගත්තේය. ඒ වූ කලී, මත්ද්‍රව්‍ය යක්‍ෂයා ය. ජනාධිපති අනුර දිසානායක ඊයේ ආරම්භ කරන ලද්දේ මේ යකා එළවීමේ සමස්ත ලංකා තොවිලයයි. මේ සැරේ මේ යකා පන්නා දැමීමට බැරිවුවහොත් යළි කවදාවත් මේ යකා පන්නා දැමීමට හැකි වන්නේ නැත.

1983 ජූලි කලබලයෙන් පසු ප්‍රභාකරන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යුද ප්‍රකාශ කරන අවස්ථාවේදී අපි විශාල අවදානමකට මුහුණ පෑවේය. එනම් උදේට ගෙදරින් එළියට බසින මවුපියන්, දූ දරුවන්, සහෝදර සහෝදරියන් මළ මිනියක් ලෙස ගෙදරට පැමිණීමට තිබූ අවදානමය. හැම තැනම බස් බෝම්බ පිපුරුවේය. හන්දිවලත්, දුම්රියවලත්, ගොඩනැඟිලි තුළත් බෝම්බ පිපිරිණි. මරාගෙන මැරෙන බෝම්බකරුවෝ ලංකාවේ ජනාධිපති ප්‍රේමදාස පමණක් නොව ඉන්දියාවේ අගමැති රජීව් ගාන්ධි ද මරා දැමූහ. ලංකාවේ කුඩු ව්‍යාපාරය වඩාත් තහවුරු වූයේ යුද්ධය පැවති කාලයේ ය. යුද්ධය නිසා මත්ද්‍රව්‍ය සමග සටන් කිරීමට අවස්ථාවක් ආණ්ඩුවට නැති විය. යුද්ධය නිමවූ පසු මත්ද්‍රව්‍ය සමග සටන ආරම්භ කිරීමට ආණ්ඩු කිහිපයක් ම තැත් කළ නමුදු එය ව්‍යර්ථ වූයේ ඒ වන විට මත් කුඩු නමැති ආණ්ඩුව රටේ ආණ්ඩුවට වඩා බෙහෙවින් බලසම්පන්න වූ නිසාය. කුඩුකාරයන් සහ පාතාලකාරයන් මර්දනය කිරීම සඳහා පසුගිය ආණ්ඩුව ද මෙහෙයුමක් ආරම්භ කළේය. එහි නම ‘යුක්තිය’ ය. මේ මෙහෙයුම එතරම් සාර්ථක නොවූයේ ඒ වනවිට ලංකාවේ කුඩු ජාවාරම පොලිසියට වඩා බලවත්ව තිබූ බැවිනි. අනෙක් අතට යුක්තිය මෙහෙයුමෙන් අල්ලා ගැනීමට හැකි වූයේ කුඩු විකුණන කට්ටිය නොව කුඩු ගහන කට්ටියයි. අපට හැඟෙන පරිදි ජනාධිපති දිසානායක මත්ද්‍රව්‍යවලින් මේ රට නිදහස් කිරීමේ ව්‍යාපාරය පටන් ගන්නා ලද්දේ මේ සියලුම කාරණා තක්සේරු කිරීමෙන් පසුව ය. මාලිමා ආණ්ඩුව පසුගිය කාලයේදී පිටරටවල සැඟව සිටි දරුණුම වර්ගයේ කුඩු ජාවාරම්කාරයන් කිහිප දෙනෙක්ම මෙරටට කුදලාගෙන ආවේය. එමතුද නොව, රට තුළ සිටි කුඩු ජාවාරම්කාරයන් ද අත්අඩංගුවට ගනු ලැබීය. ඒ සමගම රටේ තැන් කිහිපයක තිබූ කුඩු නිපදවන ෆැක්ටරි වැටලීමට ද ආණ්ඩුවට හැකි විය. මේ මාස 6ක පමණ කෙටි කාලයක් තුළ කරන ලද වැඩකි. එහෙත් තවමත් රට තුළ කුඩුවල අඩුවක් නැත. කුඩුවල අඩුවක් තිබෙන්නේ නම් කුඩුකාරයන් කුඩු සික්එක ගසා අරක්කු පානය කළ රිළවුන් මෙන් තැන තැන රස්තියාදු ගැසිය යුතුය. එහෙත් එවැන්නක් තවමත් සිදුවී නැත. ජනාධිපති දිසානායක ඊයේ කුඩු විනාශ කිරීමේ ව්‍යාපාරය ආරම්භ කරමින් කියා සිටියේ, ඉදිරියේදී කුඩු ගහන අයට සහ කුඩු ගෙන්වන අයට සැඟවීමට කිසිදු ඉඩක් නැති බවය. එයින් හැඟෙන්නේ මේ ආණ්ඩුව එක්ක සෙල්ලම් කිරීමට බැරි බවයි. මේ ආණ්ඩුවට තවත් අවුරුදු 4ක් ඉතිරිව තිබේ. ඒ අවුරුදු 4 තුළ මේ කුඩු ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම හැඳිගෑවී යන බව අපට විශ්වාසය. එහෙත් ඉතාම කුඩා ඇසිල්ලකදී පවා නැවත වතාවක් කුඩු හිස එසවීමට ඉඩ තිබේ. එබැවින් ලංකාව කුඩුවලින් බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරයට රටවැසියන් සියලුම දෙනා සහයෝගය දිය යුතුය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here