සිනමාලිනිය මාලිනී ෆොන්සේකාගේ සිනමා ගුණය

0
6


1968 අවුරුද්දේ දවසක ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකවරයෙක් මතු දිනෙක ‘සිංහල සිනමා සක්විති’ වන්නට නියමිත, ගාමිණී ෆොන්සේකාව සිය රථයේ නංවාගෙන ගොස් පුංචි බබා චිත්‍රපටයේ කටවුට් එකක් පෙන්වා ‘මේ තමයි අනාගත සිනමාවේ මුහුණ’ යැයි කීවේලු. ඒ මුහුණට හිමි නම මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා විය. එය ‘තිර නාමයක්’ නොව ඇගේ උපන් නමයි.

ඇය ද පසුකලෙක ‘නිළි රැජිණ’ යන විරුදාවලිය ලැබුවාය. මාලිනී ෆොන්සේකාට කලින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනකාන්ත සිනමා නිළිය වූ රුක්මණී දේවියට ද එසේ කියා තිබේ. එහෙත් මාලිනී ඇයට පෙර හා පසුව ආ ප්‍රධාන ධාරාවේ සියලු රංගන ශිල්පිනියනට වඩා බොහෝ දුර පැමිණි ගැහැනියකි. සිය සිනමා ආගමනයෙන් පස් වැනි දශකයත් ඉක්ම යද්දී ඇගේ තවත් චිත්‍රපට එන්නට නියමිතය. ඒවා නරඹන පිරිස අතර ඈ වෙනුවෙන්ම පැමිණෙන්නෝ නොවෙතියි කිසිවකුට කිව හැකි නොහේ.

නිෂ්පාදකවරයාගේ කතාව ඇත්තක් වන්නට වැඩිකල් ගියේ නැත. රුක්මණී, ෆ්ලොරිඩා, ජීවරාණි, සන්ධ්‍යා, පුණ්‍යා, විජිතා, අනුලා රිදී තිරයෙන් බැස යද්දී මාලිනීගේ මුහුණ එයට පුර පසළොස්වක උදා කළාය. ඔවුනගෙන් කිසිවකුට නොලැබුණු අන්දමේ චරිතාවලියක් විවිධත්වයෙන් යුතුව නිරූපණය කිරීමේ අවස්ථා ඈ වෙත ගලා ආයේ ප්‍රථම චිත්‍රපටයෙන්මයි.

පුංචි බබා (1968) හි ඇයට ලැබෙන්නේ හොර රහසේ අත දරුවකු හදා වඩාගන්නා තරුණ ජෝ අබේවික්‍රම හා විවාහ ගිවිසගත් තරුණියගේ භූමිකාවය. එය අර්ධ හාස්‍යමය චිත්‍රපටයක මෘදු චරිතයකි. එතැන් සිට ඈ බොහෝ විට රඟදැක් වූයේ හුදු පෙම්වතියගේ, සහායක චරිතයම නොවේ. ඊළඟ වසර දහය තුළ ඈ රඟපෑ ජනප්‍රිය චිත්‍රපට නාමාවලියම, ඒවා මාලිනී ෆොන්සේකා කේන්ද්‍රීය චරිතය කොටගත් නිර්මාණ බවට සාක්ෂි දරන්නේය. තුෂාරා (73), වාසනා (76), සංගීතා (75), සුසී (74), සැලී (78), රක්තා (80), පෙම්බර මධූ (77), කුණ්ඩලකේසී (78), දෙව්දුව (86) ඉන් කිහිපයකි. මේ බොහොමයක් චිත්‍රපට ආදායම් වාර්තා තැබූ අතර අතැම් චරිත සුවිශේෂය. බෞද්ධ ඉතිහාසයේ රහත් මෙහෙණින් වහන්සේ නමකගේත්, කන්‍යා සොයුරියකගේත් චරිත ඒ අතර වේ. සැලී හි චරිතය තරුණ වියේ සිට මහලු විය දක්වා දිවෙන අතර රක්තා යනු සිංහල සිනමාවේ ‘සුපර් හීරෝ’ චරිතයකට නෑකම් කියන එකම භූමිකාවයි. ප්‍රකට චිත්‍රකතා චරිත ද, මුවන්පැලැස්ස (79), මොනරතැන්න (79) ආදී ගුවන්විදුලි නාට්‍යවල සිනමා අනුවර්තනයන්හි ප්‍රධාන භූමිකාව ද, නවකතා, කෙටිකතාවල සියුම් චරිත නිරූපණ සඳහා ද ඇය තෝරා ගැනිණ.

ජී.බී. සේනානායකගේ කෙටිකතාවක් පාදක වූ ජාත්‍යන්තර අවධානය දිනූ නිධානයේ (72) ගාමිණී ෆොන්සේකා රඟන වංශවත්, තණ්හාධික විලී අබේනායකගේ චරිතය හා ගොඩනැඟෙන අයිරින්ගේ ඉවසිලිවන්ත, ආචාරශීලී භූමිකාව මාලිනී නිරූපණය කරන්නේ බොහෝවිට දෙබස් පවා නොමැති දර්ශන තුළිනි. ගොළු හදවත නවකතාවේ වඩාත් සංකීර්ණ දෙවැනි කොටස වන බඹාකෙටූ හැටි (81) චිත්‍රපටයට නැඟෙද්දී ඊට පෙර අනුලා කරුණාතිලක සදාතනිකව සනිටුහන් කළ ධම්මිගේ චරිතයට මාලිනී තෝරා ගැනීම තවත් අභියෝගාත්මක අවස්ථාවක් වේ. රක්තා චරිතය නිර්මාණය කළ දයා රාජපක්ෂගේ තවත් ප්‍රකට චිත්‍රකතාවක් වූ අනූපමා ඇසුරෙන් නිපද වූ චිත්‍රපටයේ (78) මාලිනී ඇගේ සැබෑ ජීවිතයේ පෙම්වතා වූ විජයගේ මව ලෙස රඟපෑම ද කතාබහට ලක්විණි. අසාර්ථක හා අභව්‍ය චිත්‍රපට වුවද මාලිනීගේ රඟපෑමෙන් ගොඩගත් අවස්ථා එමටය. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයෙන්ම සමන්විත ඇගේ රසික සමාජය ද ඇය මෙන්ම වාණිජ, කලාත්මක භේදය එතරම් සැලකූ බවක් නොපෙනෙන්නේය. එකම වකවානුවේ තිරගත වූ කලාත්මක ගණයේ බඹරු ඇවිත් (78) සහ වාණිජමය ගුණ ඇති අපේක්ෂා (78) සිනමා කර්මාන්තයේ වචනයෙන් හොඳට දිව්වේ මාලිනීගේ අති මහත් ප්‍රේක්ෂක සමූහය සම සිතින් චිත්‍රපට දෙකම නැරඹූ නිසා යැයි තර්ක කළ හැකි වේ.

අහිංසක, දඟකාර, සරාගී, තැන්පත්, ගැමි, නාගරික, තාත්වික, අභව්‍ය ආදී කිනම් ගුණයෙන් යුතු චරිතයකට වුව ද විශ්වසනීයව පණ දෙමින් මාලිනී පළ කළ හැකියාව තවත් ලාංකික රංගන ශිල්පියකුට මෙතෙක් සම කළ නොහැකි වූවකි. ඇතැම් අවස්ථා ඇය අතින් දැම්මා දැයි සිතේ.

වාසනා චිත්‍රපටයේ ඇගේ පෙම්වතා විජය කුමාරතුංග රිය පදවමින් ඇය හා ප්‍රේමාලිංගනයට යොමුවෙන ජවනිකාවක ඈ හිටි හැටියේ ‘ඉස්සරහ බලාගෙන එලවන්න’ යැයි කියයි. අපේක්ෂා හි ගීතමය දර්ශනයක ඈ සමග පල්ලමක දුව එන අමරසිරි කලංසූරිය පය පැකිළී වැටෙද්දී ඈ හිස අත් ගසා ඔහුට විහිලු කරන්නේ දැරියක සේය. එයා දැන් ලොකු ළමයෙක් (77) චිත්‍රපටයේ නන්දා මාලිනීගේ ‘පිණි දියෙන් විකසිතව’ ගීතයට පසුබිම් වන වැඩිවිය පැමිණීමේ චාරිත්‍ර සපුරන යුවතියකගේ රූපාවලිය සඳහා පෙනී සිටිද්දී ඇය තිස් වැනි වියට එළැඹෙමින් සිටි ගැහැනියකි.

මාලිනීගේ මුහුණ හා රූපකාය මේ සියල්ලට හේතු වූ බව පැහැදිලිය. ඇයට වූයේ පොදුවේ රූමත් යැයි සැලකෙන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ දේශ ලක්ෂණ ඉක්මවන පංච කල්‍යාණයකි. දුර්ලභ දීප්තියකි. සිනහව, කටහඬ, ස්වභාවිකව පිහිටි උපන් ලප පවා (එකල නිළියන් කෘතිම උපන් ලප තබාගත් බව කියැවේ) ඇගේ සුන්දරත්වයට හේතු විය.

සියුම් ලෙස විමසන්නකුට 70 දශකයේ ඈ රඟපෑ චිත්‍රපට ගීත බොහොමයක ඇත්තේ ‘මාලිනී වැණුම්’ බව පෙනේ. ‘ළඟ දුනුකේ මලකී – දුර මානෙල් මලකී – උඩවැඩියා මලකී – මල් මැද මල් ලඳකී’, ‘මල් වැහි සීතල මල් වැස්සේ මල් මදහාසය මං දැක්කේ’, ‘දිවා රෑ දෙකේහී සිතන්නේ පතන්නේ ඔබේ මල් සිනාවයි ආදරේ’ වැනි ගීතවල එන ‘මල් හිනාව’ යන යෙදුම නැවත නැවත ඇය රඟපාන ගීත ජවනිකාවල හමුවේ. ‘රන් මසුරන් කිරිගරුඬ තලාවක හැළෙන නදිනි ඔබ අමතන්නේ’ යනුවෙන් වර්ණනා කරනු ලබන්නේ මාලිනීගේ කටහඬ දැයි විටෙක සිතේ.

බොහෝවිට තිරයේදී ඇගේ ගායන හඬ වූයේ ලතා වල්පොළ, නන්දා මාලිනී සහ ඇන්ජලින් ගුණතිලකය. 70 දශකයේදී ඇන්ජලින් ප්‍රධාන චිත්‍රපට පසුබිම් ගායිකාව වන්නට ප්‍රබලම සාධකය වන්නේ මාලිනී වෙනුවෙන් ගී ගැයීමයි. පසු කලෙක ඇය වෙනුවෙන් ගී ගයමින් චන්ද්‍රිකා සිරිවර්ධන හා මාලිනී බුලත්සිංහල ද චිත්‍රපට පසුබිම් ගායනයට එක් වූහ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here