සැමියන් ලිංගික ව එක්වීම ප්‍රතික්ෂේප කරන්නේ අනියම් සබඳතා නිසාම ද?

0
12


සන්ධ්‍යානි මට හමුවුණේ මගේ රැකියා ස්ථානයේ දී. ඈ හරි කාර්යශූර, ප්‍රියමනාප කතාබහක් ඇති, දැකුම්කලු යුවතියක්. විවාහ වී වසර පහකට ආසන්න වුණත් පෙනුමින් ඈ තවමත් විවාහ නොවූ යුවතියකට සමානව සිටියා. ජීවිතය ගැන පුළුල් කතාබහ අපි අතර නිතර නිතර ඇතිවුණා. ඉතින් අපි අපේ පෞද්ගලික ජීවිතයේ බොහෝ දේ පවා එකිනෙකා අතර හුවමාරු කරගත්තා. මේ කතාව ඒ අතරතුරේ ඈ මට කියූ එකක්.

“අපි දැන් ඉන්නෙ හොඳින් නෙවෙයි. මම ඇත්තටම හිතින් විඳවනවා. එකතුවෙන හැම වෙලාවක ම එයා ඉන්නෙ එයාගෙ ලෝකෙක. කිසිම උනන්දුවක්, සතුටක් නැති නීරස එකතුවීම්වලින් දවස් ගෙවෙනවා. ඇත්තටම කිව්වොත් අපි අතරෙ ඒ ගැන කතාබහ පවා අඩුයි. හැම වෙලාවෙම එයා ඉන්නෙ වෙහෙසකර බවින් පිරිලා. මට දැනෙන්නෙ එයා මාව ප්‍රතික්ෂේප කරනවා කියලා. මට ඒක දරාගන්න අමාරුයි. මේකට හේතුව එයාට වෙන සම්බන්ධයක් ඇති. එයා මගෙන් හංගන මොනව හරි තියෙනවා….. “ඈ නොනැවතී කියාගෙන ගියා.

සන්ධ්‍යානිගෙ ගැටළුවට මුහුණ දෙමින් සිටින තවත් බොහෝ යුවතියන් අප අතරෙ ඉන්නවා. ප්‍රතික්ෂේපකිරීම් පුංචිම දරුවෙකුගේ සිට ඕනෑම වයසක පසුවන කෙනෙකුට එකවගේම රිදුම් ඇතිකරන්නක්. ඒ අතරින් ලිංගික ප්‍රතික්ෂේප කිරීම ඊටත් වඩා හරිම සංකීර්ණ සහ මානසික පීඩනය ඇතිකරවන තත්වයක්. හැබැයි මේ තත්වයට ගැළපෙන හරි උත්තර ඕනෑතරම් තියෙනවා. ඒ නිසා ඔබ එවැනි ප්‍රතික්ෂේප කිරීමකට ලක්ව ඉන්නවා නම්, ඊට හේතු හිතින් හදාගන්න එපා. අනුමාන කරන කරුණු ඇත්තම කරුණු නොවිය හැකියි. හරිම පරිස්සමින්, කලබල නොවී මේ තත්වයට මුහුණදෙන්න ඔබේ ආත්ම ශක්තිය හදාගැනීම තමයි අංක එකටම ඔබ කරන්න ඕනේ. ආතතිය වගාකරගන්නවා වෙනුවට ඔබ මනසින් ලිහිල් වූ විට ඇත්තටම මේ ප්‍රතික්ෂේප කිරීමට හේතුව ඔබට හමුවේවි.

මේ සම්බන්ධ ව පර්යේෂකයින් ඉදිරිපත් කරන බොහෝ කරුණු තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන කරුණු කිහිපයක් මෙහි සඳහන් කර තිබෙනවා. ඔබේ ස්වාමිපුරුෂයා ඔබ සමඟ ලිංගික ව එක්වීම් ප්‍රතික්ෂේප කරන්නට හේතුව ඒ අතර හමුවෙනවා ද බලන්න.

විවාහ වී වසර කිහිපයක් ගත වනවිට ජීවිතයේ එළඹෙන වගකීම් වෙනස් වෙනවා. රැකියා පරිසරයේ ස්වභාවය එකම මට්ටමක පවතින්නේ නැහැ. ඔබේ ආර්ථික මට්ටම් ඉහළ, පහළ යා හැකියි. ඉටු කරන්නට පැවරෙන යුතුකම් දිනෙන් දින වැඩිවිය හැකියි. නෑදෑ හිතමිතුරු සබඳතා හමුවේ යම් යම් ගැටළු, මැදිහත්වීම්, ප්‍රතිචාරවලට මුහුණ දෙන්නට සිදුවිය හැකියි. ඔබේ නිවස අලුතින් හදන්නට යාම, ඉඩමක් මිල දී ගන්නට සිදුවීම, වාහන නඩත්තු කිරීම හෝ නව මිලදී ගැනීම් වැනි විවිධ අවස්ථා ඔබේ ජීවිතයට අලුතින් එක්වන විට ඒවාට ප්‍රමුඛත්වය දෙන්නට යාමෙන් ඔහු ලිංගික ආශාවන් යටපත් කර සිටිනවා විය හැකියි. ඔහු එක්ක නිදහසේ කතාකරන්න. මානසික ව ලිහිල් වන්න. චෝදනා කරනවා වෙනුවට ලිංගික ජීවිතය රැකගැනීමේ වගකීම සහ එහි වටිනාකම, සතුට සහ සම්බන්ධතාවයේ ශක්තිය ඒ මත රඳාපවතින බව එකිනෙකා අතර සන්නිවේදනය කරගත් විට මේ තත්වය යහපත් කරගන්න ඔබට බැරිවන්නේ නැහැ.

දෙදෙනාගේ ම අනාගත යහපත වෙනුවෙන් ඇතැම්විට ඔහු ප්‍රමුඛතාව ලබා දී ඇති කරුණක් ඔහු ආතතියට පත් කර තිබෙනවා විය හැකියි. එහෙමත් නැත්නම් දරුවන්ගේ සහ ගේ දොර රාජකාරි සමඟ ඔබේ රැකියාවේ බරත් එක්වීමෙන් ඔබ නිරතුරුව ම කාර්යබහුල වීම නිසාත් ඔහු ආතතියෙන් පසුවනවා විය හැකියි. ඔබ දරාගන්නා තරමට ම ඔහුත් සියල්ල දරා නොගැනීම නිසා මේ තත්වය වැඩිදියුණු වෙනවා විය හැකියි. ඉතින් සියල්ල අතරතුර ඔබ දෙදෙනා වෙනුවෙන් වෙලාව සැලසුම් කරගන්නට ඔහු සමඟ සූදානම් වෙන්න. වරද ඔහුගේ බව පවසමින් ඇඟිලි දිගු කරනවා වෙනුවට දෙදෙනා ම එක්ව නිවැරදි විසඳුමකට එළඹෙන්න. මනසින් ලිහිල් වන්න. ජීවිතයේ වන ගැටීම්, වැටීම්, පසුබෑම්, සිත්රිදීම්, කළකිරීම් සියල්ලට ම හොඳම විසඳුම ඔබේ සම්බන්ධතාව හැකිතාක් ශක්තිමත් කරගැනීම බව මොහොතකටවත් අමතක කරන්න එපා.

ඔහු ශාරීරිකවත් මානසිකවත් නිරෝගී සෞඛ්‍ය තත්වයක පසු නොවෙනවානම් ලිංගික එක්වීම්වලට අතරම් කැමැත්තක් හෝ උනන්දුවක් ඇති නොවිය හැකියි. දියවැඩියාව, අධිරුධිරපීඩනය, විශාධිය වැනි තත්වයන් වෙනුවෙන් ගන්නා ඖෂධවර්ග නිසා ඔහුගේ ලිංගික උද්දීප්තියෙහි පවත්නා වෙනස්කම් ඔහුගේ කාමාශාවන් යටපත් කර තැබිය හැකියි. මේ තත්වය හරිහැටි තේරුම් නොගෙන ඔහුට වෙනත් සම්බන්ධයක් ඇති නිසා ලිංගික ප්‍රතික්ෂේපකිරීමකට ලක්ව සිටිනවා යැයි හිතන්න ඉක්මන් වෙන්න එපා. සෞඛ්‍ය තත්වයන් පාලනය වූ පසු ඔබේ ගැටළු විසඳේවි. එතෙක් ඉවසීමෙන් මුහුණ දෙන්න.

ඔහුට ඔබ සමඟ ලිංගික ව එක්වන්නට ඕනෑ වූ අවස්ථා රැසක දී ඔබ එයින් මඟහැර සිටින්නට උත්සාහ දැරුවා නම්, එහෙමත් නැත්නම් ඒ අතරතුර ඔහුගෙන් වූ දුර්වලතා ගැන නොනවත්වා චෝදනා කරන්නට පටන්ගත්තානම් ලිංගික ධාවකය යහපත්ව පවත්වාගෙන යාම අසීරුයි. සතුට සහ එයින් සංතෘප්ත වීම ලිංගික එක්වීමක අවසානයේ උරුම කරගන්නට නම් දෙදෙනා ම ඒ සඳහා ගුණාත්මක ව වගේ ම ප්‍රමාණාත්මක ව සමීප ලිංගික සම්බන්ධතාවක් නඩත්තු කළ යුතුයි. තමන්ට ඔහු ආදරය නොකරන බව, තවදුරටත් තමා අනවශ්‍ය බව මොහොතකට හෝ හැඟෙනවානම් ඒ මානසික ගැටළුව සෙමෙන් විසඳාගෙන ඔබේ එක්වීම් අවස්ථා වැඩි කරගන්න.

දරුවන් හෝ පවුලේ වෙනත් වැඩිහිටියන් නිවසේ රැඳී සිටීම ඔබ දෙදෙනාගේ පෞද්ගලිකත්වයට, ඔහු සහ ඔබ අතර සම්බන්ධතාව දුරස් වීයාමට හේතුවක් යැයි සිතා සිටිනවානම් ලිංගික ප්‍රතික්ෂේප කිරීමට හේතුව එය විය හැකියි. දින සහ වේලාවන් සැලසුම් කරගනිමින් ලිංගික එක්වීම ජීවිතයේ අවශ්‍යතාවක් බවට පත්කරගන්න. එයින් දිගුකාලීනව ඈත්වී සිටීම ම කාමාශාවන් වියැකී යන්නට හේතුවක් විය හැකියි.

විවාහ වූ මුල් කාලයට වඩා ඔහු ඔබෙන් සංතෘප්ත වන්නට රුචි කරන ඉරියව් එක්වීම් තුළ වෙනස් විය හැකියි. ලිංගික ආශාව හැමවිටම එකම ආකාරයක පවතින්නේ නැහැ. ලිංගික එක්වීම් හැම මොහොතක ම අන්තර්ක්‍රියාවකින් (Intercoruse)ම අවසන් විය යුතු යැයි සිතා සිටීම මිත්‍යාවක්. වෙනස්කම්වලට අනුගත වෙමින් විවිධ අත්හදාබැලීම් කරමින් එක්වීම්වල නැවුම්බව රැකගත්විට ලිංගික සංතෘප්තියේ උපරිම අවස්ථා අත්විඳිය හැකියි. මේ සඳහා ඔබ දෙදෙනා අතර ඒ සම්බන්ධ සන්නිවේදනය පුළුල් කරගන්න.

ඔබේ නිරන්තර අවිවේකී බව, ලිංගික ඇරයුම් හමුවේ පවත්නා උදාසීන ප්‍රතිචාර, ඔහුගේ කැමැත්ත නොතකා හැරීම, නිතර නිතර අනුම්පද, ආරවුල් ඇතිකරගැනීම, ඔහු නොසලකා හැරීම, ඔහු ප්‍රියකරන අයුරින් ඇවතුම් පැවතුම් පවත්වා නොගැනීම, අපිරිසිදුව සිටීම, තමන්ට එවැනි අවශ්‍යතාවක් නොපවතින බව දිගින් දිගට ම හැගෙන අයුරින් පසුවීම, රෙදි සේදීම, දරුවන්ගේ වැඩ, ඉවුම් පිහුම් සඳහා දවස පුරා කාලය වැය කර ප්‍රමාද වී නින්දට යාම, වෙනත් අයවලුන් සමඟ සංසන්දනය, අධික මිතුරු ඇසුර නිසා ඔහුගේ සැකයට බඳුන්වීම වැනි විවිධ හේතු ඔබෙන් මඟහරවා ගැනීමට හැකි බොහෝ කරුණු මේ තත්වයට බලපා තිබිය හැකියි. ඇතැම්විට ඔහුගේ නව සම්බන්ධයට හේතුව නිවසට වඩා ඔහු එහි දී ලබන විවේකී සුවය වීමටත් ඉඩ තිබෙනවා. කෙසේ වෙතත් එය සාධාරණීකරණයට හෝ විවේචනයට යාම වෙනුවට ඔබේ සම්බන්ධයේ දුරස්ව යාම නිරාකරණය කරගන්නට වෙහෙසීම වඩාත් ප්‍රායෝගිකයි.

ඉහත කරුණු ගැන මම සන්ධ්‍යානිට බොහෝ දේ පැහැදිලි කර දුන්නා. ඔහුගේ ලිංගික ප්‍රතික්ෂේප කිරීම ඔහු අනියම් සම්බන්ධයකට යොමුව තිබීම ම විය හැකි යැයි දැඩිව සිතා සිටි සන්ධ්‍යානි ඇගේ ඇත්තම හේතුව හොයාගත්තා.

ඉතින් ඔබත් කලබලවී සම්බන්ධතාව තව තවත් දුරස් කරගන්නවා වෙනුවට සන්සුන් ව, අවබෝධයෙන් දෙදෙනාගේ ම සන්නිවේදනය වඩවඩාත් යහපත් මට්ටමට පත්කරගනිමින් උත්තර හොයාගන්න. හැබැයි මතක තියාගන්න, ඕනෑම සම්බන්ධයක් ඕනෑම මොහොතක දුරස්වී යාහැකියි. බිඳී යා හැකියි. ඒ තත්වය ඔබට පමණක් වෙනස් වේයැයි හිතන්නට එපා. අප කළ යුත්තේ තත්වයන්ට අනුගත වෙමින් හැකි උපරිම අවස්ථාවල සම්බන්ධතාව ශක්තිමත්ව නඩත්තු කරගැනීම පමණයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here