සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය ලාස්ලෝ ක්‍රස්නාහෝර්කායි ට

0
1

2025 සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය හංගේරියානු ලේඛක ලාස්ලෝ ක්‍රස්නාහොර්කායිට හිමිව තිබේ. දාර්ශනික, ඇතැම් විට තදබල ලෙස හාස්‍යජනක වූ ඔහුගේ නවකතා බොහෝ විට දිග හැරෙන්නේ, තනි වාක්‍යයකින් වන අතර, පසුගිය බ්‍රහස්පතින්දා සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය දිනා ගත්තේ, ‘විශ්ව විනාශකාරී භීෂණය මධ්‍යයේ වුව ද, කලාවේ බලය යළි තහවුරු කරන, ආකර්ෂණීය හා විචක්ෂණශීලී ඔහුගේ සමස්ත නිර්මාණාවලිය’ වෙනුවෙනි.

ඔහුගේ මංගල කෘතිය වන ‘සතන්තාංගෝ’ සහ ‘ද මෙලන්කොලි ඔෆ් රෙසිස්ටන්ස්’ ඇතුළු කෘති ගණනාවක් හංගේරියානු අධ්‍යක්ෂ බේලා ටාර් විසින් චිත්‍රපට බවට පත් කරනු ලැබ තිබේ.

නොබෙල් කමිටු සාමාජිකයකු වන ස්ටීව් සෙම්-සැන්ඩ්බර්ග් නොබෙල් ත්‍යාගයේ ජයග්‍රාහකයා නිවේදනය කරන අවස්ථාවේ දී ඔහුගේ ‘මුලාවෙන් මුළුමනින් ම නිදහස් වූ සමාජ විධිවිධානයේ බිඳෙනසුළු බව තුළින් දකින කලාවේ බලය පිළිබඳ ඔහුගේ නොසැලෙන විශ්වාසය සමග මුසුවූ කලාත්මක බැල්ම’ නොබෙල් විනිශ්චයකාරවරුන් විසින් ප්‍රශංසාවට ලක් කරන ලද බව පැවසීය.

ලාස්ලෝ ක්‍රස්නාහොර්කායි යනු ෆ්‍රාන්ස් කෆ්කාගේ සිට තෝමස් බර්න්හාඩ් දක්වා විහිදෙන මධ්‍යම යුරෝපීය සම්ප්‍රදායේ ශ්‍රේෂ්ඨ වීර කාව්‍ය රචකයෙකි. එම සම්ප්‍රදාය විකාරරූපීත්වයෙන් සහ අතිශයෝක්තිකාරී භීෂණයෙන් සංලක්ෂිත යැයි නොබෙල් විනිශ්චයකාරවරු පැවසූ හ.

ඔහුගේ අනෙකුත් කෘති අතර කුඩා හංගේරියානු නගර පසුබිමක දියත් වන පාඨකයා කම්පනයට පත් කරන අති යථාර්ථවාදී කතාවක් වන ‘ද මෙලන්කොලි ඔෆ් රෙසිස්ටන්ස්’ සහ සූදුවට ඇබ්බැහි වූ වංශාධිපතියකුගේ කාව්‍යමය නවකතාවක් වන ‘බැරන් වෙන්ක්හයිම්ස් හෝම් කමිං’ ද වේ.

චීනයට හා ජපානයට කළ ඔහුගේ ගමන් බිමන් ආභාසය කර ගනිමින් ඔහු කෘති කිහිපයක් ම රචනා කර ඇති අතර, 2003 දී හංගේරියානු බසින් පළ වූ ‘උතුරට කන්දක්, දකුණට විලක්, බටහිරට මාවත්, නැගෙනහිරට ගංගාවක්’ නම් කෘතිය ද ඊට ඇතුළත් වේ.

නොබෙල් කමිටු සාමාජික සෙම්-සැන්ඩ්බර්ග් පැවසූයේ, ක්‍රස්නාහොර්කායි කලක පටන්ම නොබෙල් සම්මාන මණ්ඩලයේ අවධානයට ලක්ව සිටි බවත්, ‘ඔහු එකින් එක විශිෂ්ටතම කෘති නිර්මාණය කරමින් සිටින බවත්’ ය. ක්‍රස්නාහොර්කායි විසින් රචිත සාහිත්‍ය කෘති, ‘පිරිසිදු විශිෂ්ටත්වයේ අඩ සියවසක්’ ලෙස ඔහු හඳුන්වා දුන්නේ ය.

ක්‍රස්නාහොර්කායි උපත ලැබුවේ රොමේනියානු දේශසීමාව ආසන්නයේ පිහිටි හංගේරියාවේ ගිනිකොණ දිග ගියුලා නගරයේ ය. 1970 දශකය පුරා, ඔහු සෙගෙඩ් සහ බුඩාපෙස්ට් විශ්වවිද්‍යාලවල නීතිය හැදෑරූ අතර, පසුව සිය අවධානය සාහිත්‍යය වෙත යොමු කළේ ය. ඔහුගේ වෙබ් අඩවියේ ඇති චරිතාපදාන කොටසට අනුව, ඔහු යුරෝපය, ආසියාව සහ ඇමෙරිකාව පුරා පුළුල් ලෙස සංචාරය කර ඇති අතර, විවිධ රටවල් ගණනාවක වාසය කර ඇත.

ක්‍රස්නාහෝර්කායි 2015 වසරේ ‘මෑන් බුකර්’ ජාත්‍යන්තර ත්‍යාගය ඇතුළු බොහෝ සම්මාන දිනාගෙන ඇත. තවද, ඔහු 2019 දී Baron Wenckheim Homecoming නවකතාව වෙනුවෙන් එක්සත් ජනපදයේ පරිවර්තිත සාහිත්‍යය සඳහා වූ ‘ජාතික ග්‍රන්ථ සම්මානය’ ද දිනා ගත්තේ ය.

ඇමෙරිකානු ලේඛිකාවක සහ විචාරිකාවක වන සූසන් සොන්ටැග් විසින් ක්‍රස්නාහෝර්කායි හඳුන්වනු ලැබ ඇක්තේ, ‘අවසාන විනාශයේ සමකාලීන විශිෂ්ටයා’ ලෙස ය. ඔහු ඇමෙරිකානු කවියකු හා ලේඛකයකු වූ ඇලන් ගින්ස්බර්ග් සමග ද මිතුරුව සිටි අතර, ඔහු නිව්යෝර්ක් නගරයේ සංචාරය කරන සෑම විට ම පාහේ ගින්ස්බර්ග්ගේ මහල් නිවාසයේ නැවතී සිටියේ ය.

සෙම්-සෑන්ඩ්බර්ග් ප්‍රකාශ කළේ, ක්‍රස්නාහොර්කායි හට “තමන්ගේ ලෝකය, එනම්, ඔහුගේ සාහිත්‍යමය ලෝකය, ඔබ හමුවේ සැබෑවක් බවට පත්කිරීමට විශිෂ්ට හැකියාවක් ඇති” බව ය. “මා අදහස් කරන්නේ, ඔහු ඔබ වටා සිදුවන සෑම දෙයකම මැද ඔබව තබනවා. එය ඉතා විශාල ගුණයක්. එසේ කිරීමට හැකි කතුවරුන් සිටින්නේ බොහොම ටිකයි”

2002 වසරේ දී ඉම්රේ කෙර්තෙස්ගෙන් පසු හංගේරියාවෙන් සම්මානය දිනූ පළමු ජයග්‍රාහකයා ඔහු ය. ඔහු අර්නස්ට් හෙමිංවේ, ටෝනි මොරිසන් සහ කසුවෝ ඉෂිගුරෝ වැනි සම්භාවනීය සම්මානලාභීන්ගේ ලැයිස්තුවට එක් වේ.

අනුර බී. සෙනෙවිරත්න

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here