සාම ක්‍රියාවලියට ජය වේවා

0
1

(ට්‍රම්ප්ට ස්තුතියි)

ඊශ්‍රායලය සහ පලස්තීනයේ හමාස් සංවිධානය අතර සාම ක්‍රියාවලියක් හටගෙන ඇති බව වාර්තා වේ. මේ සාම සැලැස්ම සඳහා ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශාල උත්සාහයක් දරනා ලද බව වාර්තා විය. එම සාම ප්‍රයත්නය දිගින් දිගටම කල් යන විට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට තරවටු කළ අවස්ථා ද තිබිණ. ස්ථිර වශයෙන්ම මේ මොහොතේ දී ලෝක බලවතා වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ප්‍රතිපත්තියක් වශයෙන් ගත් කල ඩොනල්ඩ් ට්‍රම්ප් යුද විරෝධියෙකි. ඔහු සමහරවිට යුද්ධයට එරෙහිව යුද්ධය පාවිච්චි කරයි. ඊශ්‍රායලය සහ පලස්තීනය සාමයට එකඟ නොවුණොත් එක අවස්ථාවක දී ඔහු මේ රටවල් දෙකටම පහර දෙනවා ඇත. මෙයට කලකට පෙර ඊශ්‍රායලය කටාර් රාජ්‍යයේ සිටි හමාස් සංවිධානයේ ප්‍රබලයන් කිහිපදෙනකුට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේ ය. මේ ප්‍රහාරයෙන් කටාර් රාජ්‍යයේ ගොඩනැඟිල්ලකට බරපතළ හානි සිදුවී කටාර් හමුදා සෙබළෙක් ද මියගියේ ය. මේ නිසා අතිශයින් කෝපයට පත්වූ කටාර් රාජ්‍යයේ එමීර්වරයා ඊශ්‍රායලයට විශාල දෝෂාරෝපණයක් එල්ල කරමින් එරට මෙතරම් යුද නාඩගමක් නටන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල නායකයාගේ ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින නිසා බවට මැසිවිල්ලක් ද නැගීය. මේ අතර පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසියේම කටාර් රාජ්‍යයට ගියේ ය. ඉන් ටික වෙලාවකට පසු කටාර් රාජ්‍යයේ එමීර්වරයාට දුරකථනයෙන් කතා කළ ඊශ්‍රායල අගමැති නෙතන්යාහු කටාර් රාජ්‍යයට පහරදීම ගැන සමාව ඉල්ලා සිටියේ ය. මේ සමාව ගැනීම සිදුවුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කටාර් එමීර්වරයා අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබියදී ය. මෙය තනිකරම ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සැලසුම් කරන ලද සමාව ඉල්ලීමේ ක්‍රියාවලියකි. කටාර් රාජ්‍යයට ගිය ඔහු ඊශ්‍රායලයට කතා කර කටාර් එමීර්වරයාගෙන් සමාව ඉල්ලන ලෙස බලකර සිටියේ ය. නෙතන්යාහු කටාර් එමීර්වරයාට කතා කළේ එම බලකිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. දැන් කටාරය සහ ඊශ්‍රායලය අතර අර්බුදය අවසන් වී ඇත. පාර්ශ්ව දෙක අතර හොඳ හිතක් මතුවී තිබේ.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාම ගිවිසුමට එකඟ වී යුද්ධය නතර නොකරන්නේ නම් එම පාර්ශ්ව දෙකටම පරිප්පු කෑමට සිදුවන්නේ ය.

හමාස් සංවිධානය යටතේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිස ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යෝජනාවකට අනුව ලබන සඳුදා නිදහස් කිරීමට හමාස් සංවිධානය පොරොන්දු වී තිබේ. මෙය ඉතා සාධනීය ලක්‍ෂණයකි. ඊශ්‍රායලය පලස්තීනයට දිගින් දිගටම බෝම්බ හෙළන්නේ හමාස් සංවිධානය යටතේ සිටින තම රටේ වැසියන් ඉල්ලමිනි. ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළොත් යුද්ධය අවසන් වන බැවින් ඔවුන් මුදාහැරීමට හමාස් සංවිධානය අදහස් කළේ නැත. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඒකාධිකාරී බලයට යටත්වීමට හමාස් සංවිධානයට සිදුවී තිබේ. හමාස් සංවිධානය ඊශ්‍රායලයට විරුද්ධව කරගෙන යන සටන නවත්වා දැමුවොත් තවදුරටත් පලස්තීනයට එක බෝම්බයක්වත් හෙළන්නට ඊශ්‍රායලයට ඉඩ ලැබෙන්නේ නැත. ඊශ්‍රායලය යම්කිසි විදිහකින් සාම ක්‍රියාවලිය උල්ලංඝනය කළොත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බව ස්ථිරය. මේ වෙලාවේ දී ලෝකයට සාමය අත්‍යවශ්‍ය ය. සාමය යනු එක්තරා අවස්ථාවක දී හොඳින් බැරිනම් නරකින් හෝ අත්පත් කරගත යුතු ය. මැදපෙරදිග සාම ක්‍රියාවලියට ජයවේවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් ස්තුතියි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here