ස්වාමිපුරුෂයින්ට හැදෙන ලොකුම භීතිකා දෙකක් ගැන දැනගන්න.

0
11


ඇමරිකානු ලේඛිකාවන් මෙන්ම ප්‍රවීණ බයිබල් ගුරුවරියන් දෙපළක් වන ආචාර්ය බෙත් මුවර් සහ කේ ලී ආතර් විසින් සිදු කළ පර්යේෂණයකින් අනාවරණය වෙලා තියෙන විදියට හැම ස්වාමිපුරුෂයෙකුට ම හැදෙන ලොකුම භීතිකා දෙකක් තියෙන බව ඔවුන් සඳහන් කරනවා. ‍ඒ තමයි, බිරිඳට තමන් නොසෑහේවියැයි ඇතිවන බිය සහ බිරිඳ තමා පාලනය කරාවි යැයි දැනෙන බිය.

ලෝකයේ අනික් හැම කෙනෙකුට ම වඩා ඔබ ඔහුව විශ්වාස කරනවාට ඔහු කැමතියි. ඔහුගේ ප්‍රඥාව, අවබෝධය, බුද්ධිය ගැන ඔබ අභිමානවත් වනවාට, අගය කරනවාට ඔහු කැමතියි. ඔබේ සිහින යථාර්ථවත් කරන්නට හැකි එකම පුද්ගලයා ඔහු යැයි සිතනවාට, කොටින්ම ඔහු ඔබේ ජීවිතයේ වීරයා යැයි සිතනවාට ඔහු ඉතා කැමතියි.

ඔහුගේ අසමත්වීම්වලදී පවා අත්නොහැර, ප්‍රතික්ෂේප නොකර, විවේචනය නොකර, ඔබ ඔහු සමඟ ම සිටිනවාට ඔහු කැමතියි. අමතකවීම් වැඩි, කිසි දෙයක් දුරදිග සිතා නොකරන, දුර්වල, වගකීම් දැරීමේ ශක්තියක් නැති, කෙනෙක් කියා ඔබට සිතුණොත්, ඔහු ඔබේ පරිපූර්ණ මිනිසා නොවෙයි කියා ඔහුට දැනෙන්නට වුණොත්. ඒය කිසිසේත් ඔහුට දරාගන්නට බැහැ. එය ඔහුට ඇතිවිය හැකි විශාලතම භීතිකාවන්ගෙන් එකක්.

ඔබ කල යුතු ප්‍රධානම දේ නම් අගය කරන්න. විවේචන නතරකරන්න.ඔහු හොඳටම ප්‍රමාණවත් බව ඔහුට දැනෙන්න දෙන්න.
ඔහු ඔබෙන් අපේක්ෂා කරන්නේ ඔබේ සහයෝගයේ හඬයි.

බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන ඔහු වෙනුවෙන් ඔබ පෙනී සිටිනවිට ඔහුට දැනෙන ශක්තිය තුළ ඔබ හිතනවාට වඩා ඉතා සොඳුරු මිනිසෙක් නිර්මාණය වේවි.

ඔබේ ඉවසීම, ඔබේ ආදරය, ඔබේ කැපවීම, ඔබේ දරාගැනීම, ඔබේ ඇගයීම, ගෞරවය, ප්‍රසාදය ඔහුට හැකි උපරිමයෙන් ම ලබාදෙන්න. ඔබට ඔහු ප්‍රමාණවත් නොවේවි, නොසෑහේවි, මදිවේවි, ඔහු වෙනුවට තවත් කෙනෙක් ඔබට ඕනෑවේවි කියා ඇතිවන දරුණු බිය අතහැර ගන්නට ඒ සියල්ල ඔහුට අත්‍යවශ්‍යයි.

ගැහැනුන්ට සහ පිරිමින්ට එක හා සමාන වටිනාකමක් ඇති බව ඇත්තයි. ඒත් ස්වාමියා සහ බිරිඳ යන භූමිකා තුළ දි එකිනෙකාගේ එල්බගැනීම්, අදහස් මතවාද එක හා සමාන නැහැ. මේ පරස්පරතාව තුළින් කියැවෙන්නේ එක්කෙනෙක් හරි, අනිත් කෙනා වැරදියි කියන එක නෙවෙයි. ඔබ දරන අදහසට වඩා වෙනස් අදහසක් ඔහු සතුවිය හැකියි. හැමවිටම ඔබ පමණක් නිවැරැදියි හෝ ඔබ පමණක් සාර්ථකයි යන්න සිතන්න එපා. සාර්ථකත්වය ඔහු දරන අදහස් අනුවත් ළඟා විය හැකියි.

අදහස් විවිධ වූ පමණින් මත ගැටුම් ඇතිකරගැනීම හෝ ඔබේ මතයට ඔහු එකඟ කරවාගෙන ඔබ නිවැරදිවීම හෝ සුදුසු නැහැ. සමහරවිට විවාහය දෙදරායාමට ඉඩ දිය නොහැකි නිසා ඔහු ඔබට එකඟ වේවි. ඒත් ඔබ ඔහුව අනවශ්‍ය අන්දමින් පාලනය කරනවාට කිසිසේත් කැමති වෙන්නෙ නැහැ.

ඔබ ඔහු පාලනය කරන බව දැනෙන්නට පටන්ගත්විට ඔහු ඔහුගේ භූමිකාව සම්පූර්ණයෙන් ම වසාදමාවි. ඔහුගේ නායකත්වය කිසිවිටෙකත් මතු කර නොපෙන්වාවි. මතක තබාගන්න, ඔබ ඒ වසාදැමුවේ ඔබ බොහෝ සෙයින් ආදරය කළ, ඔබට බොහෝ සෙයින් ආදරය කළ මිනිසාගේ සෙවනැල්ලයි.

සියලු තීරණ ගැනීම, ක්‍රියාත්මකවීම ආදී සියල්ල ඔබ පමණක් කරන විට ඔබට ඔහු කිසිම ශක්තියක් නොවන බව ඔහුට තේරුම් යාවි. එවිට ඔහුගේ සහය ඔබට ලබා දීමට ඔහු දෙවරක් සිතාවි.

ඒත් වරද කාගේද? මේ තත්වය නිර්මාණය කරගත්තේ ඔබ විසින්මයි. ඔහු දුර්වලයෙකු කළේ ඔබයි. දැන් ජීවි‍තේ බරට දැනෙන්නට හේතුව මෙයයි. ඒකාකාරී විවාහ ජීවිතයක සියලු වගකීම් තනිව දරන්නට අපහසුබව දැන් කෙතෙක් හඩනඟා කීවත් එයින් වැඩක් නැහැ.

ඔහුට නිවැරදි වෙන්නට සහාය වෙන්න. පාලනය නතර කරන්න
ස්මාර්ට් කාන්තාවක් විදියට ඔබ දූරදර්ශීව කටයුතු කළ යුතුයි. පසුව පසුතැවිලි වෙනවාට වඩා මුල සිටම නිවැරදිව කටයුතු කරන්න.

ඔහුට නැවත ක්‍රමයෙන් තීරණ ගන්නට ඉඩ දෙන්න. ඔහුට නිවැරදි වෙන්නට සහාය වෙන්න. මඟ ඇරෙන තැන්, අතපසුවන තැන්, පාඩු සිදුවිය හැකි තැන් ඔහුට ආදරයෙන් පෙන්වා දෙන්න. සහකාරියක් හැටියට ඔහු ඔබෙන් අපේක්ෂා කරන්නේත්, සහකරුවෙක් හැටියට ඔබ ඔහුගෙන් අපේක්ෂා කරන්නේත් ආදරය, ගෞරවය, සමඟිය පිරුණු සාර්ථක විවාහ ජීවිතයක්. ඉතින්ඒ ආදරණීය අපේක්ෂාව ගෞරවනීය අන්දමින් මුදුන්පත් කරගන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here