ස්වාභාවිකවම දීප්තිමත් සමක් පවත්වා ගෙන යමු

0
14


ඕනම කෙනෙක් ආසයි පැහැපත් සහ දීප්තිමත් සමක් පවත්වා ගෙන යන්න. මේ සඳහා ඕනෑ තරම් ක්‍රම , ආලේපන සහ සත්කාර තිබුනත් බොහෝ වේලාවට ඒවායේ ප්‍රතිඵල පවතින්නේ සුළු කාලයකට පමණයි. ඒ නිසා ස්වාභාවිකවම දීප්තිමත් සමක් පවත්වා ගෙන යා හැකි ක්‍රම පිළිබඳව ඔබට කියන්නයි අපි සූදානම් වෙන්නේ

නිරෝගී , දිදුලන සහ පැහැපත් සමක් පිළිබඳව කතා කරන විට සලකා බැලෙන ප්‍රධානම කාරණාව තමයි ඔබ ලබා ගන්නා ආහාර. පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම ඔබේ සමේ පෙනුම කෙරෙහි සෘජුවම බලපානවා. නැවුම් එළවළු සහ පලතුරු ඒ අතරින් විශේෂ තැනක් ගන්නවා. සමේ කුරුලෑ , බිබිලි ,  අඳුරු ලප සහ කැළැල් ඇති වීමට හේතු වන තෙල් අධික ආහාර , ක්ෂණික ආහාර , අධික සීනි සහිත ආහාර , අධික කුළුබඩු යොදා ඇසුරුම් කළ ආහාර වැනි දේවල් පරිභෝජනය කිරීම හැකිතාක් අවම කළ යුතුයි.

චර්ම රෝග විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට ඔබේ සම නීරෝගීව සහ පැහැපත්ව තබා ගැනීමට ජලය තරම් වෙන කිසිවක් ක්‍රියා ක්‍රියා කරන්නේ නැහැ. ශරීරයෙන් විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට , ඔබව සජලීයව පවත්වා ගැනීමට සහ ඔබේ සමට නිරෝගී පෙනුමක් ලබා දීමට ඉතා හොඳින් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වෙනවා.අවම වශයෙන් දිනකට වතුර වීදුරු අටක් වත් පානය කළ යුතුයි. 

බොහෝ දෙනා අවධානය යොමු නොකරන නමුත් අවධානය යොමු කළ යුතුම කරුණක් තමයි මේ.පාරජම්බුල කිරණ වලින් සමට ඇති විය හැකි බලපෑම් පිළිබඳව බොහෝ දෙනා දැන සිටියත් පිටතට යන විට sunscreen ආලේප කිරීම පිළිබඳව නොසලකා හරිනවා. සම අව්වට පිලිස්සීම , විවිධ ලප කැළැල් ඇති වීම , දුර්වර්ණ වීම ආදී තත්වයන් ඇතිවීම වළක්වා ගැනීම සඳහා පිටතට යන විට අනිවාර්යයෙන්ම sunscreen භාවිතා කළ යුතුයි.

ඔබේ සම නීරෝගීව සහ දීප්තිමත්ව තබා ගැනීමට බලපාන තවත් ප්‍රධාන සාධකයක් ලෙස සුව නින්ද සැලකෙනවා. ඇස් වටා කලු වීම , සමයේ අඳුරු ලප ඇති වීම වළක්වා ගැනීම සඳහා දිනකට පැය අටක වත් සුව නින්දක් අනිවාර්යයෙන්ම ලබාගත යුතුයි. ඒ වගේම සමේ ගැටලු ඇතිවීම වළක්වා ගැනීම සඳහා පිරිසිදු කොට්ට උර සහ ඇඳ ඇතිරිලි ද භාවිතා කළ යුතුයි. විශේෂයෙන්ම අපිරිසිදු කොට්ට උර නිසා සමේ බිබිලි සහ කුරුලෑ ඇති වීම සිදු වෙනවා. ඒ තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ඔබ නිදා ගැනීම සඳහා භාවිතා කරන කොට්ට උර වල පිරිසිදු භාවය ගැනත් සැලකිලිමත් වන්න.

පැහැදිලි සහ දීප්තිමත් සමක් පවත්වා ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න උදෑසන කාලසටහනක් ඔබට  වැදගත් වෙනවා. උදෑසන දී හිස් බඩ ලෙමන් යුෂ සහ මී පැණි සමග මද උණුසුම් වතුර වීදුරුවක් පානය කිරීම මගින් රුධිර ප්‍රවාහය පිරිසිදු කිරීමටත් , අක්මාව, වකුගඩු සහ මුත්‍රා මාර්ගයේ හානිකර විෂ ද්‍රව්‍ය වලින් පිරිසිදු කිරීමටත් ක්‍රියා කරනවා.ඒ වගේම ලෙමන් වල ඇති ප්‍රතිඔක්සිකාරක විටමින් සී සහ මී පැණිවල ඇති ප්‍රති ක්ෂුද්‍ර ජීවී ලක්ෂණ සම පෝෂණය කරමින් සමෙහි ගැටලු මර්දනය කරමින් සම දීප්තිමත් කරනවා.

ග්‍රීන් ටී වලින් ඔබට ලැබෙන සෞඛ්‍යමය වාසි බොහෝමයක් තිබෙනවා. විශේෂයෙන්ම ග්‍රීන් ටී ප්‍රතිඔක්සිකාරක වලින් පිරි ඇති පානයක් නිසා ඔබේ සමට හිරු එළියෙන් ඇති විය හැකි හානි අවම කරනවා. ඒ වගේම වයස්ගත වීමේ ලකුණු ඇති වීම ප්‍රමාද කරවන අතර සමෙහි රැලි ඇති වීම ද වළක්වනවා. 

නිරෝගී සහ දීප්තිමත් සමක් සඳහා අධික ලෙස මුදල් වියදම් කරමින් සත්කාර කරන්නට අවශ්‍ය ම නැහැ. මෙවැනි සුළු පියවරයන් අනුගමනය කිරීම මගින් උනත් ඔබට දීප්තිමත් සමක් පවත්වා ගෙන යන්නට පුළුවන්. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here