සමූපකාර රෝහල් පද්ධතිය මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්තිය සමග මනා සම්බන්ධතාවයකින් යුක්තව පවත්වා ගනිමින් මහජන සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක කිරිම පිළිබඳ වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ රජයේ සහ පෞද්ගලික අංශය අතර මධ්‍යස්ථ සේවාදායකයෙකු ලෙස සමූපාකාර රෝහල් පද්ධතිය සතු සම්පත් වඩාත් කාර්යක්ෂමව මහජනතාව වෙත සමීප කරවීමේ හැකියාව පිළිබඳව කරුණු සොයා බැලීමය.
මෙම විශේෂ සාකච්ඡාවේ දි සමූපකාර රෝහල් පද්ධතියේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳවත්, සමූපකාර රෝහල් පද්ධතිය ඩිජිටල්කරණ ක්‍රියාවලියට ලක් කිරිමට කටයුතු කිරීම පිළිබඳවත් කරුණු සාකච්ඡා කළ අතර, සමූපකාර රෝහල් සේවාව සතු තාක්ෂණික පහසුකම්, පුහුණු ශ්‍රමිකයින්, ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා යන කරුණු පිළිබඳව ද මෙහිදී දීර්ඝව සාකච්ඡා සිදු කරන ලදි.
සමූපකාර රෝහල් පද්ධතිය මේ වන විට ඩිජිටල්කරණයට ලක් කිරීමට සමූපකාර දෙපාර්තමේන්තුව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත්, පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පරිගණක සේවා සපයන සමාගමක් සමාජ සත්කාරයක් ලෙස නොමිලේ එම කටයුතු සිදු කරදීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් මෙහිදී පෙන්වා දෙන ලද අතර එම ඩිජිටල්කරණ වැඩපිළිවෙල පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කිරීමට ද මෙහිදී කටයුතු කරන ලදි.
ශ්‍රී ලංකාවේ සමූපකාර රෝහල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය, රටේ සමස්ත සෞඛ්‍ය සේවා පද්ධතිය නවීකරණය කිරීමේ පුළුල් සැලැස්මට අනුගතව සිදු කෙරෙන බවත්, මෙහි ප්‍රධාන අරමුණ වන්නේ රෝගී සත්කාරක සේවාවන්හි කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ තොරතුරු කළමනාකරණය විධිමත් කිරීම බව මෙහිදී වෙළෙඳ, වාණිජ, ආරක්ෂණ, සුරක්ෂිත හා සමුපකාර සංවර්ධන අමාත්‍ය ඡ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න මහතා පෙන්වා දුන්නේය.
රජය 2026 වසර සඳහා රුපියල් බිලියන 30 ක පමණ ප්‍රතිපාදන වෙන් කරමින් පුළුල් ඩිජිටල්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කර ඇති ජාතික ඩිජිටල් සෞඛ්‍ය සැලැස්ම මඟින් සියලුම සෞඛ්‍ය ආයතන පොදු ඩිජිටල් රාමුවකට ගෙන ඒමට අපේක්ෂා කෙරෙන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
සමූපකාර රෝහල් පද්ධතිය මගින් මෙරට ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය උදෙසා සිදු කෙරෙන සේවාව ද මෙහිදී ඇගයීමට ලක් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා සමූපකාර රෝහල් කාර්ය මණ්ඩල සඳහා රජයේ සෞඛ්‍ය ආයතන සහ රෝහල් තුළ පුහුණුව ලබාගැනීමේ ඇති හැකියාව පිළිබඳවත් දැනුවත් කිරීමට කටයුතු කළේය.
මෙරට සමූපකාර රෝහල් 21 ක් ක්‍රියාකාරී මට්ටමේ පවතින අතර, ඉන් රෝහල් 07 ක් කාන්තා පදනම මත වූ රෝහල් වේ. අනෙක් රෝහල් 14 තුළින් සාමාන්‍ය රෝගී සත්කාර සේවා ක්‍රියාත්මක කරනු ලබන අතර එම රෝහල් තුළින් පැය 24 පුරා විශේෂඥ වෛද්‍ය සේවා (Channeling), නූතන තාක්ෂණයෙන් යුත් රසායනාගාර සහ X-Ray සේවා, ගිලන් රථ සේවා (Ambulance), දරු ප්‍රසූති, ඖෂධ මිලදී ගැනීම, ශල්‍යකර්ම ඇතුළු තවත් පහසුකම් රැසක් ක්‍රියාත්මක වේ.
Saru News
















