සමාජ මාධ්‍ය වලට ඇබ්බැහි වෙලාද? ඔබම හොයාගන්න

0
12


සමාජ මාධ්‍ය වලට ඇබ්බැහි වෙලා කියල කෙනෙක් කවදහරි ඔබට චෝදනා කරල තියෙනවද? 

ඒක ඇත්තද කියල ඔබ හිතල තියෙනවද?

ඇත්ත නැත්ත කොහොම වුනත් ඒ හොඳ චෝදනාවක් නම් නෙමෙයි. සමාජ මාධ්‍ය ඇබ්බැහි වීම කියන්නෙත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම තරම්ම මානසික සහ ශාරීරික ගැටළු ඇති කරන්න තරම් භයානක කාරණාවක් කියලයි පර්‍යේෂකයන් සඳහන් කරන්නෙ. 

ඒ නිසා ඔබ සමාජ මාධ්‍ය වලට ඇබ්බැහි වෙලාද නැද්ද කියල ඔබටම හොයාගන්න පුළුවන් ක්‍රම කීපයක් ඔබත් එක්ක බෙදාගන්නයි අපි මේ සූදානම් වෙන්නෙ.

ඔබ විතරක් නෙමෙයි ඔබේ ආදරණීයයන් හෝ සමීපතමයන් මේ ඇබ්බැහි වීමෙන් මුදාගන්න මේ කරුණු ඔබට වැදගත් වෙයි කියල අපි විශ්වාස කරනවා. 

අනෙකුත් අත්‍යාවශ්‍ය වැඩ සහ වගකීම් මඟ හරිමින් දවසේ වැඩි කාලයක් සමාජ මාධ්‍ය වල ගත කිරීම සමාජ මාධ්‍ය ඇබ්බැහි වීමේ ප්‍රධාන ලක්ෂණයක්. මේ සඳහා නිශ්චිත කාලයක් සඳහන් කිරීමට අපහසු වුනත් පර්‍යේෂකයන් සඳහන් කරන්නෙ එක් සමාජ මාධ්‍යක දිනකට පැය 05 කට වඩා ගත කරනවා නම්, එය සමාජ මාධ්‍ය ඇබ්බැහි වීමක් ලෙස සලකන බවයි. 

නෑදෑයන් සහ යහළු මිත්‍රයන් වගේම පවුලේ සමාජිකයන් පවා ප්‍රතික්ෂේප කරමින් ඔවුන් සමඟ කතා කිරීම, ගමන් බිමන් යාම සහ එක්ව කෑම ගැනීම පවා ප්‍රතික්ෂේප කිරීමත් සමාජ මාධ්‍ය ඇබ්බැහි වීමේ ලක්ෂණයක් ලෙස දකින්න ලැබෙනව.

සැබෑ මිනිසුන්ගෙන් ඈත්ව සමාජ මාධ්‍ය වලින් හඳුනා ගන්නා පිරිස් සමඟ සමීප වීම, ඔවුන් විශ්වාස කිරීමට පෙළඹීම සහ තම සියළු අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යක් ලෙස  සමාජ මාධ්‍ය යොදා ගැනීමට මේ පුද්ගලයන් පෙළඹෙනවා. 

මෙතක් කල් පවත්වා ගෙන ආ විනෝදාංශ අතහැරීමත් ඒවා කිරීමට යොදාගත් කාලය සමාජ මාධ්‍ය තුළ ගත කිරීමත් හඳුනාගන්න පුළුවන්. 

ශරීරය වෙහෙසවා සිදු කරන ඇවිදීම, ඉවීම, ගෙදර දොර පිරිසිදු කිරීම වැනි සරල ක්‍රියාකාරකම් පවා සමාජ මාධ්‍ය ඇබ්බැහි වීම තුළින් ඔබ නොදැනුවත්වම ඔබෙන් මඟ හැරෙන්න පුළුවන්. 

සාමාන්‍ය පරිදි සිදුකරන ව්‍යායාම සම්පූර්ණයෙන් නවතා දැමීම හෝ ඒවා සඳහා වෙන්කරන ලද වෙලාව අඩු කිරීමත් සමාජ මාධ්‍ය ඇබ්බැහි වීමේ ප්‍රතිඵල ලෙස ඇතිවෙන්න පුළුවන්. 

ඔබ රැකියාවක් කරනව නම්, ඔබ අතින් ඉටුවිය යුතු සේවාවන් මඟහැරීම, නියමිත දින වලදී නියමිත වැඩ අවසන් කර භාරදීමට නොහැකි වීම, උනන්දුවකින් තොරව වැඩ අවසන් කිරීමට උත්සහ කිරීම නිසා අවශ්‍ය සහ බලාපොරොත්තු වන ප්‍රතිඵලය නොලැබීම වගේ සිදුවීම් වෙන්න පුළුවන්.

ඒ වගේම ඔබ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් නම්, ඔබේ ලකුණු සහ ප්‍රතිඵල පහළ වැටීම, නියමිත දිනට ඇගයීම් සහ පරීක්ෂණ සම්පූර්ණ කරගත නොහැකි වීම, ගොඩගැසී ඇති වැඩ කටයුතු රාශියක් තිබීම වගේ ගැටළු ඇතිවෙන්නත් පුළුවන්. 

සමාජ මාධ්‍ය වලට යොමුවීමේ පහසුම ක්‍රමය වන්නේ ජංගම දුරකථනයයි. ඔබ සමාජ මාධ්‍යයේ සඳහන් කළ අදහසකට ලැබෙන ප්‍රතිචාර, ඔබේ යැවූ කෙටි පණිවිඩයකට ලැබෙන ප්‍රතිචාර ආදිය ගැන ඔබ නිරන්තරයෙන් සැළකිලිමත් වෙන්න ඔබේ මොළය හුරුකරවන නිසා නිතරම ජංගම දුරකථනය පිළිබඳ විමසිලිමත් වීමට ඔබේ මොළය වෙහෙසෙනවා. 

Nomophobia එහෙමත් නැත්නම් ජංගම දුරකථනය නොමැතිව කාලය ගත කිරීමට සිදුවීම ගැන දැඩි බියක් / ෆෝබියාවක් ඇතිවීමේ වැඩි ඉඩකඩක් සමාජ මාධ්‍ය වලට ඇබ්බැහි වූවන් අතර දකින්න ලැබෙන්නෙ මේ නිසයි. 

ඊට අමතරව ජංගම දුරකථනය අනවශ්‍ය පරිදි ආරක්ෂා කිරීමට යොමුවීම වගේම ජංගම දුරකථනය ක්‍රියා විරහිත වේ යැයි බියෙන් සියළු වැඩකටයුතු නවත්වා එය සම්පූර්ණයෙන් ආරෝපණය කර තබන්නත් වෙහෙසෙන්න සමාජ මාධ්‍ය වලට ඇබ්බැහි වූවන් නිරන්තරයෙන් කටයුතු කරනවා. 

සමාජ මාධ්‍ය වලට ඇබ්බැහි වූවන් බොහෝවිට සැබෑ ලෝකයෙන් එහා ගිය මවාගත් චරිත ලක්ෂණ නඩත්තු කරන පුද්ගලයන් ලෙස හැසිරෙන්න දැඩි උත්සහයක් දරනවා. මේ උත්සහය නිසා ඔවුන්ගේ සැබෑ මානූෂීය ගති ලක්ෂණ වගේම නිදහස සහ මිල මුදල් පවා ටිකෙන් ටික අඩුවීමට පටන් ගන්නවා. 

ඒ වගේම සැබෑ ලෝකය සමඟ සහ බාහිර ස්වභාවික පරිසරය සමඟ සම්බන්ධතා මඟහැරීම නිසා අති විශාල මානසික පීඩයක්ද ඇතිවෙනවා. 

සමාජ මාධ්‍ය වලට ඇබ්බැහි වූවන් අතර දකින්න ලැබෙන අනෙක් ප්‍රධානම ගැටළුව නම් ශරීරයට අවශ්‍ය පරිදි නින්ද නොලැබී යාමයි. මේ නිසාත් මානසික සහ ශාරීරික රෝග ගණනාවක් ඇතිවෙනවා. 

මීට අමතරව ශාරීරික ක්‍රියාකාරකම් වල අඩුබව නිසා තරබාරුව, කොලස්ට්‍රෝල් සහ හෘද රෝග ඇතිවීමේ අවදානමකුත් දකින්න ලැබෙනවා. 

ඔබ ගැන වෙන කාටත් වඩා දන්නෙ ඔබනේ. ඒ නිසා, ඔබ සමාජ මාධ්‍ය වලට ඇබ්බැහි වෙලා නම් මේ කරුණු වල උදව්වෙන් ඒ ගැන තේරුම් ගන්න ඔබට දැන් හැකියාවක් තිබෙනවා. 

සමාජ මාධ්‍ය වලින් ඉදිරියෙන්ම ඉන්න facebook ඇබ්බැහි වීම නතර කරන්න smartlady අපේ මේ ලිපියත් ඔබට උදව් වේවි. https://smartlady.lk/article/3892/facebook-addiction/

එහෙනම්,  සමාජ මාධ්‍ය වල ගත කරන කාලය හැකි තරම් අඩුකරල පරණ පුරුදු සැහැල්ලු ජීවිතේ ගතකරන්න ආයෙමත් පටන් ගමුද?

තවත් මෙවැනිම වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු. 

සටහන – දුලානි නවෝද්‍යා 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here