
සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයකුගේ නාවල වැලිකඩ පිහිටි නිවසකින් බලපත්‍ර නොමැති ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයා ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය නිවේදනය කර ඇත. මෙම සොයා ගැනීමත් සමඟ එම ස්ථානයේ සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිදු කරන ලද මෙම වැටලීමේදී බලපත්‍ර නොමැති පිස්තෝල වර්ගයේ ගිනි අවියක්,
රිපිටර් වර්ගයේ ගිනි අවියක් සහ බලපත්‍ර සහිත තවත් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් මෙන්ම ජීව උණ්ඩ 20ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති පරිදි, අත්අඩංගුවට ගත් සැකකරු රොක් පොස්පේට් අපනයනය කරන සමාගම් සඳහා උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙකු විසින් ප්‍රකාශ කර ඇත.
මෙම වැටලීම සිදු කර ඇත්තේ රොක් පොස්පේට් අපනයනය කිරීමේදී සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳව ලැබී ඇති පැමිණිල්ලකට අදාළව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදු කරන විමර්ශනයකට සම්බන්ධවයි. මෙම විමර්ශනයට අදාළව අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවි හමු වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 56ක් වන අතර, ඔහු විසින් මෙම ගිනි අවි යම් නීති විරෝධී ක්‍රියාවකට යොදාගෙන ඇත්දැයි යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ දිගටම පවත්වාගෙන යනු ලැබේ.
Saru FM Media