2025 පළාත් පාලන මැතිවරණයේදී රටේ ජනතාව විසින් විපක්ෂයට බහුතර බලය ලබා දී ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාළව සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය සඳුදා උදෑසන කොළඹදී පැවැත්වුණා.
මේ සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් තලතා අතුකෝරල, ජාතික සංවිධායක සාගල රත්නායක සහභාගී වූ අතර සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන මහත්වරුන් සහභාගී වුණා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලද අතර, එහිදී විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමඟ එක්ව මෙම සභාවල බලය පිහිටුවීම සඳහා වන එකඟතාවයට සාර්ථකව එලඹ ඇති බව සඳහන් වනවා.
මේ අතර එක්සත් ජාතික පක්ෂ මධ්‍යම කාර්යාංශයේ විශේෂ හමුවක් පසුගිය සිකුරාදා උදෑසන කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්වුණා.
එක්සත් ජාතික පක්ෂ නායක, 08 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම්, සභාපති, වජිර අබේවර්ධන, මහලේකම් තලතා අතුකෝරල, ජාතික සංවිධායක සාගල රත්නායක යන මහත්වරුන් සහභාගී වූය.
මෙහිදී විශේෂයෙන්ම පක්ෂයේ බිම්මට්ටම ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා වූ අතර පළාත් පාලන නිලධාරීන්ගේ පත්වීම් කටයුතු අවසන් වීමෙන් පසු සියලුම නායකයින් ඒ ඒ දිස්ත්‍රික්කවල සංවිධාන ජාලය ගොඩනැංවීමට උපරිම කැපවී කටයුතු කළ යුතු බවට සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
Saru FM Media