සබරගමුව වෛද්‍ය පීඨයේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක සේවයට පැමිණ ඇති ඉන්දීය ජාතික කම්කරුවකු ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි රත්නපුර පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මෙරටට පැමිණි සිටි උතුරු ඉන්දියාවේ කුර්දා ඔඩිෂා ප්‍රාන්තයේ බාසුදේධිපුර් පදිංචි බිහැට් නමැති අවුරුදු 51ක් වන තිදරු පියකු බව පොලිසිය කියයි.
රත්නපුර වෙරළුප ප්‍රදේශයේ කඳු මුදුනක ඉදිවෙමින් පවතින සබරගමුව වෛද්‍ය පීඨයේ ඉදිකිරීම් පෞද්ගලික ආයතනයක් විසින් සිදුකෙරෙන අතර මෙහි ඉන්දීය ජාතික කම්කරුවන් 150 දෙනකු පමණ සේවය කරන බවත් ගෙල වැලලාගෙන
මියගොස් ඇති පුද්ගලයා පෙදරේරුවකු වශයෙන් සේවය කර ඇති බවත් පොලිසිය පවසයි.
මෙම පුද්ගලයාට කොන්දේ අමාරුවක් සැදී රත්නපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා දින හතරකට පසුව නැවත සේවා ස්ථානයට ගොස් ඇති බවත් මොහු නවාතැන් ගෙන සිටින ස්ථානයේ පසුගිය පළමුවැනිදා ගෙල වැලලාගෙන මියගොස් සිටි බවත් එහි අනිකුත් සේවක පිරිස එය දැක පොලිසියට දැනුම්දී ඇති බවත් සඳහන්ය.
මෙම පුද්ගලයා විදේශ ආයතනයක් මගින් මෙරටට පැමිණ මෙම ආයතනයේ සේවය කර ඇති අතර වීසා, විදේශගමන් බලපත්‍ර තිබෙන බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
මියගිය අයගේ මරණය පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්ෂණය රත්නපුර වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රියංකා වර්ණසූරිය මහත්මිය විසින් සිදුකරන ලදී. පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (3 දා) රත්නපුර ශික්ෂණ රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබිණි.
රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. කමලනාත් කොඩිතුවක්කු, පො.සැ. විජේකුමාර (42966), පො.කො. තිලකරත්ත (41043), පො.කො. මධුසංඛ (106250) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
රත්නපුර – නිශාන්ත වික්‍රමසිංහ
Saru FM Media