
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ශිෂ්‍යයෙකු වූ චරිත් දිල්ශාන් නම් 23 හැවිරිදි තරුණයා සියදිවි නසා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ චෝදනා මතු වෙමින් පවතී. මෙම ඛේදවාචකය පිටුපස නවකවදය හේතුවක් විය හැකි බවට සැක මතු වී ඇත.
සිදුවීමේ පසුබිම
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ 2021/2022 කණ්ඩායමට අයත් චරිත් දිල්ශාන් නම් සිසුවා පසුගිය අප්‍රේල් 27 වැනි දින විශ්වවිද්‍යාලයේ පැවති අවුරුදු උත්සවයට සහභාගී වී ඇත. උත්සවයෙන් පසු ඊළඟ දින, එනම් අප්‍රේල් 28 වැනි දින, ඔහු ගම්පොල ඉහළගම පිහිටි සිය නිවස වෙත පැමිණ ඇත. අවාසනාවකට, අප්‍රේල් 29 වැනි දින සවස වන විට, ඔහු සිය නිවස පසුපස ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන තිබූ බව වාර්තා වේ.
සමාජ මාධ්‍යවල පැතිර යන චෝදනා
මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල විවිධාකාරයේ අර්ථකථන පැතිර යන අතර, බොහෝ දෙනා චෝදනා කරන්නේ මෙම සිසුවාට නේවාසිකාගාරයේදී සිදු වූ නවකවද සිදුවීමක් හේතුවෙන් දැඩි මානසික කම්පනයට පත්ව සියදිවි නසා ගත් බවයි.
සමාජ මාධ්‍යවල පළ වූ එක් සටහනක සඳහන් වූයේ, “ශෝටක් ගහගෙන වැසිකිළියට ගිය හේතුවට 25ක පමණ ජ්‍යෙෂ්ඨ සිසුන් සමූහයක් පැමිණ, ඔවුන්ගෙන් 10ක පමණ පිරිසක් සියදිවි නසාගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවාව නිරුවත් කරලා රැග් කරලා තියෙනවා” යනුවෙනි.
තවත් සටහනක මෙසේ සඳහන් විය: “සබරගමුව කැම්පස් එකේ නේවාසිකාගාරයේදී වැසිකිළියට ශෝටක් ඇඳගෙන ගියා කියලා හැමෝම ඉස්සරහා නිරුවත් කරවලා නවක වදය දීලා තියනවා. ඒ ලැජ්ජාවට තමයි මෙහෙම දෙයක් කරගෙන තියෙන්නෙ. මේ ගැන කැම්පස් එකේ කිසිම කෙනෙක් දැනට කතා කරන්නෙ නෑ. මේ සිද්දිය යට ගහන්න හදන්නෙ හැමෝම.”
මෙම සටහන් මඟින් පෙන්නුම් කරන්නේ චරිත් නේවාසිකාගාරයේදී කොට කලිසමක් හැඳ සිටීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් සියලු දෙනා ඉදිරිපිට නිරුවත් කිරීමට ලක් කර ඇති බවයි. මෙම සිදුවීම හේතුවෙන් දැඩි මානසික පීඩනයට පත් වූ චරිත් සිය නිවසට ගොස් දින කිහිපයකට පසු සියදිවි නසා ගත් බවට සැක කෙරේ.
නීතිමය තත්ත්වය
පොලීසිය සඳහන් කරන්නේ මෙතෙක් ලැබී ඇති තොරතුරු අනුව මෙම සිදුවීම නවකවදය හේතුවෙන් සිදු වූවක්ද නැතිනම් වෙනත් හේතුවක් මත සිදු වූ සියදිවි නසා ගැනීමක්ද යන්න සෙවීමට පුළුල් පරීක්ෂණ පවත්වමින් පවතින බවයි.
සමාජයේ ප්‍රතිචාර
මෙම සිදුවීම සමාජ මාධ්‍යවල දැඩි ලෙස සාකච්ඡාවට ලක් වී ඇති අතර, බොහෝ දෙනා මෙම සිදුවීම පිළිබඳව සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටිති. ඇතැම් අය සඳහන් කරන්නේ මෙවැනි සිදුවීම් හේතුවෙන් තරුණ සිසුන් නිදහස් අධ්‍යාපනයට බියවී විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳ සිය සිහින අත්හැර දමන බවයි.
“අම්මගෙ තාත්තගේ හීන හැබෑ කරගෙන, තමන්ගේ මහන්සියෙන් ගේමක් ගහන් ජීවිතේ ගොඩ දාගන්න අහිංසක කොල්ලෙක් පාඩම් කරලා, මහන්සි වෙලා, AL pass වෙලා campus එනවා. හැබැයි මානසික අසහනකාරයෝ නිසා ඒ කොල්ලට ආත්මය පාවදෙන්න වෙනවා,” යනුවෙන් එක් සමාජ මාධ්‍ය පරිශීලකයෙක් සඳහන් කර ඇත.
තවත් සමාජ මාධ්‍ය පණිවිඩයක මෙසේ සඳහන් විය: “අහිංසක අම්මෙකුයි තාත්තෙකුයි දාඩිය පෙරාගෙන සල්ලි හොයලා ළමයා රජ කරන්න වෙච්ච මහන්සිය මිනී පෙට්ටියක් උඩ නිදි කරලා පැත්තකට වෙන්න වුණු ඛේදවාචකයක්.”
නවකවදය පිළිබඳ ගැටලුව
මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල නවකවදය පිළිබඳ දීර්ඝ කාලීන ගැටලුව නැවත වරක් සමාජ සාකච්ඡාවට ලක් කර ඇත. විශ්වවිද්‍යාල තුළ නවකවදය තහනම් කර ඇති නමුත්, එම නීති ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු පවතින බව අවධාරණය කෙරේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ මෙම සිදුවීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කර නැත.
දෙමව්පියන්ගේ වේදනාව
චරිත් දිල්ශාන්ගේ අකාලයේ විපතට පත්වීම ඔහුගේ දෙමව්පියන්ට දැඩි වේදනාවක් ගෙන දී ඇත. සමාජ මාධ්‍ය පරිශීලකයන් බොහෝ දෙනෙක් ඔහුගේ පවුලේ අයට සිය සානුකම්පිත බව පළ කරමින්, “මේ තරම් දුරට උස්මහත් කල දෙමව්පියන්ට කොයිතරම් දුකක්ද” යනුවෙන් සඳහන් කර ඇත.
යුක්තිය ඉල්ලා සිටීම
සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනා චරිත් දිල්ශාන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින අතර, “මේ සිදුවීමට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ඉදිරිපත් කළ යුතුයි” යන මතය දරති. විශේෂයෙන්ම මෙම සිදුවීම පිළිබඳව නිශ්ශබ්ද වීමට හෝ එය යටපත් කිරීමට කිසිවෙකු උත්සාහ කරන්නේ නම් එයට එරෙහිව හඬ නැගීමට බොහෝ දෙනා පෙළඹී සිටිති.
“මේ පෝස්ට් එක දකින හැම කෙනෙක්ම මේක ශෙයාර් කරන්න… ඒ අසරණයාට වූ දේට සාධාරණයක් ඉෂ්ට කරන්න…” යනුවෙන් සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනා ආයාචනා කරති. ඇතැමුන් මෙයට වගකිව යුතුඅය යයි ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසකගේ නම්ද දුරකථන අංක සමග ප්‍රසිද්ධ කර ඇති අතර සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන පොලිසියේ අවධානය ඒ වෙතද යොමුව ඇත.



Saru FM Media