සබරගමුව මහ සමන් දේවාල පෙරහැරට පමණක් උරුම කාලතුවක්කු වෙඩි හඬ

0
11

පරම්පරාවෙන් පරම්පරාවට දේවකාරියක්:
කාලතුවක්කුවක් ඇති එකම දේවාලය සබරගමුව මහ සමන් දේවාලය

දිවයිනේ දේවාල ඇතුළු විහාරස්ථානවල වාර්ෂිකව පැවත්වෙන පෙරහැර මංගල්‍යයන්වලදී පෙරහැර ආරම්භය සහ ගෙවැදීම සනිටුහන් කිරීම සඳහා වෙඩි හඬවල් සිදුකරන අතර දැනට එසේ වෙඩි හඬ ශබ්දය නිකුත් කරන දිවයිනේ එකම කාලතුවක්කුව ඇත්තේ සබරගමුව මහ සමන් දේවාලයේ පමණය.

සබරගමුව මහ සමන් දේවාලයේ 800 වන පෙරහැර වෙනුවෙන් ද දැනට මෙම ඉපරැණි කාලතුවක්කුවෙන් වෙඩි හඬ නිකුත් කරන අයුරු අපට දැකගත හැකිවිය.

මෙම ඉපරැණි කාලතුවක්කුව සම්බන්ධව එහි ක්‍රියාකරු වශයෙන් කටයුතු කරන හේමන්ත ජයවර්ධන මහතා අප සමග මෙසේ පැවසීය.

අපේ මුතුන් මිත්තන් විසින් පෘතුග්‍රීසි පලවා හැරීම සඳහා එවකට මෙය නිමකර තිබෙන්නේ ලෝහමය ද්‍රව්‍යයකින්.

කිලෝ හතළිහකට වැඩි බරක් තිබෙනවා. මහ සමන් දේවාලයේ මහ පෙරහැර වෙනුවෙන් තමයි මෙය එළියට ගන්නේ. සමන් දේවාලයේ කපු මහතා භාරයේ තිබෙන මෙම කාලතුවක්කුව පෙරහැර සමයේ වෙඩි හඬ නිකුත් කිරීමට මම කටයුතු කරනවා. මෙය පරම්පරාවෙන් එන රාජකාරියක්. මෙයට පෙර අපේ ආතා කෙනෙක්වූ සැරහාමි යන අය මියගියාට පසුව මම භාරගත්තා. දැනට මම වසර 30 ක් පමණ මෙහි ක්‍රියාකරු වශයෙන් කටයුතු කරනවා.

කාලතුවක්කුවෙන් වෙඩි හඬ නිකුත් කිරීම සඳහා කළු බෙහෙත් යෝගට් කප් තුනක් පමණ දාලා කොටනවා. පසුව පත්තර ගුලි දාලා කොටනවා. එයට අමතරව පොල්මුඬු තද කරනවා. අවසානයේ කළු බෙහෙත් කාල තුවක්කුවේ නිතුලට දාලා කකුලෙන් පාගාගෙන හුලු අත්තකින් ගිනි අවුලනවා. එවිට විශාල හඬක් පිටවෙනවා.

පැරණි කියමන් අනුව ගම් හතකට මෙම වෙඩි හඬ ශබ්දය ඇසෙනවා.

මහ පෙරහැරට කප් සිටුවීමේදී ප්‍රථම වෙඩිල්ල පත්තු කරනවා. එයට පසුව රන්දෝලි පෙරහැර ආරම්භක දිනයේ නානු මුරයට උදේ පත්තු කරනවා. සවස ඇතා පිටට කරඬුව වැඩම කරවීමේදීත් පෙරහැර අවසානයේ දේවාභරණ රිට්ටා ගෙට වැඩම කරවීමේදී වෙඩිහඬ නිකුත් කරනවා.

රන්දෝලි මහ පෙරහැර දින පහෙන් පසු දින මල්වල කළුගඟේ රතඹල ඇල්ල අසලදි දිය කැපීමේ ආරම්භයේ සිට කොට අඹේ දක්වා කළු ගඟේ එන අතර තොටුපළ වලවල් පහකත් කොටඅඹේන් පිටත් වන විටත් කාල තුවක්කුව ගෙනගොස් කළු ගඟේ ගොඩබිමේදී වෙඩි හඬ ශබ්දය නිකුත් කරනවා. මහ සමන් දේවාලය පෙරහැර අවසාන වන විට වෙඩි හඬ ශබ්ද 21 නිකුත් කරනවා.

මෙම රාජකාරිය පරම්පරාවෙන් එන නිසා මගෙන් පසුව එය භාරගැනීම සඳහා මගේ අවුරුදු නමයක් වන සදෙව් සත්සර පුතාට පුරුදු කරනවා.

පුතා ශ්‍රී සුමන සමන් මහ විදුහලේ හතර වසරේ ඉගෙනුම ලබනවා.
රත්නපුර – නිශාන්ත වික්‍රමසිංහ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here