පින්වත, පාතාල ලෝකයේ අතීත කෙටි ආස්වාදයෝ සහ වර්තමානයේ දීර්ඝ ආදීනවයෝ පින්වත් ඔබට පෙනෙනවා නේද? පින්වත, වර්තමානයේ ඔබ අත්දකින පාතාල ලෝකයේ ආදීනවයන් දැකලා කරුණාකර පෙරළා ආස්වාදයෝ නම් ඇති කොට ගන්න එපා. පින්වත, පාතාල ලෝකයේ කෙටි ආස්වාදයෝ සහ දීර්ඝ ආදීනවයෝ තුළින් ඔබ ධර්මය දකින්න දක්‍ෂ වෙන්න. පින්වත, මහා සමුදුරෙන් එහා සිටියත්, සියලුම සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. පින්වත, දුශ්ශීලභාවයේ විපාකයන් වන ජනප්‍රියභාවය පිරිහීම, අභියෝගයන් සහ ජනතාව ඉදිරියේ පරාජිතයන් වීම, භව භෝග සම්පත් රාජසන්තක වීම, සිහි මුළා වී මරණයට පත් වීම සහ දුගතියේ ඉපදීම යැයි කියන විපාකයෝ විවෘතව සමාජයට ප්‍රකට වෙනවා. පින්වත, පාතාලය බිහි වන්නේ කල්‍යාණමිත්‍ර ආශ්‍රයේ දුර්වලභාවයෙන් සහ කල්‍යාණ ධර්මයන් ශ්‍රවණය නොකිරීමෙන් ඇති කොට ගන්නා ප්‍රමාදීභාවය හේතුවෙන් මයි. පින්වත, අපි හැමෝම පසුපස පටිච්චසමුප්පන්නව පුහුණු කළ පාතාල දැනීම් සැඟවිලා තිබෙනවා. පින්වත, ඉහත හේතුව නිසා මයි, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ, “මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ ම ජීවමානව පවතින්නේ කල්‍යාණමිත්‍ර ආශ්‍රය නිසා මයි” කියලා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව තරුණ ගිහි ජීවිතයේ දී, අසත්පුරුෂ, පාපමිත්‍ර ආශ්‍රයට යොමු වුණා නම්, පාතාල ක්‍රියාකාරිකයෙක් වෙන්න තිබුණා. පින්වත, පාතාල ක්‍රියාකාරිකයෙක් තුළිනුත්, සිල්වත් මනුෂ්‍යයෙක් තුළිනුත් ඔබ දැකිය යුත්තේ කල්‍යාණමිත්‍ර ආශ්‍රයේ සහ අසත්පුරුෂ, පාපමිත්‍ර ආශ්‍රයේ හේතුඵල ධර්මයෝ මිස, කෙටි ආස්වාදයේ දේශපාලන උවමනා එපාකම් නම් නොවේ. පින්වත, අපි වැරදි අන්තයන්ට ගියොත් කල්‍යාණමිත්‍ර ආශ්‍රයේ සහ කල්‍යාණ ධර්මයන්ගේ උත්තරීතරභාවය අපිට අමතක වෙලා යන්න පුළුවන්. පින්වත, පාතාල මර්දනයේ කෙටි ආස්වාදය තවත් දීර්ඝ ආදීනවයක පෙර නිමිත්තක් වෙන්න පුළුවන්. පින්වත, පාතාලය තුළින් අපි ප්‍රවර්ධනය කළ යුත්තේ කල්‍යාණමිත්‍ර ආශ්‍රයේ උතුම් හේතුඵල ධර්මයෝ මයි.
පින්වත, භික්ෂුවගේ ගිහි පාසල් ජීවිතයේ දී, වරක් පින්වත් ගුරු මහත්මයෙක් වේවැලකින් පහරක් ගැසුව වේලාවේ ළමා මට ඇඬුණා. ඒ ඇඬුණේ වේදනාවට නොවේ, එම ගුරුතුමා මට ආදරේ නේද කියලා. පින්වත, ආදරය වැඩිකමට දඬුවම් කරන අවස්ථාවන් මොනතරම් තිබෙනවා ද? පින්වත, ආදරණීය දඬුවම් තුළ, ආදරණීය අවවාදයෝ සැඟවිලා තිබෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අපි හැමෝම කායික හෝ මානසික දණ්ඩනයට අකමැතියි කියලා. පින්වත, දණ්ඩනයට අපි කවුරුවත් ම කැමති නැහැ. පින්වත, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට මොහොතකට පෙරාතුව ආනන්ද ස්වාමීන් වහන්සේට සැල කරනවා, “බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුව ඡන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩය පනවන්න” ය කියලා. පින්වත, මාන්නාධික, වයෝවෘද්ධ ඡන්න භික්ෂුවට පනවන බ්‍රහ්ම දණ්ඩය නමැති අධිකරණය යනු, මෙත් සිතින් පනවන ආදරණීය මානසික දණ්ඩනයක්. පින්වත, ඡන්න භික්ෂුවට පැනවූ ආදරණීය බ්‍රහ්ම දණ්ඩයෙන් ඡන්න භික්ෂුව සංඝයාට කීකරු වූවා පමණක් නොවේ, උතුම් ධර්මාවබෝධයෙනුත් සැනසෙනවා. පින්වත් තාත්තා කෙනෙක් භික්ෂුවට කියනවා, “මගේ දරුවාට ගුරුවරයෙක් හෝ වැඩිහිටියෙක් දඬුවමක් කරනවාට තමා තරයේ ම විරුද්ධයි” කියලා. පින්වත, මේවාට කියන්නේ ‘සක්කාය දිට්ඨියේ’ මහා අරටු කියලයි. පින්වත, අපි මේ කතා කරන්නේ, ආදරණීය දඬුවම් ගැන මිස, කේන්තියේ සහ පළිගැනීමේ, මාන්නාධික මානසික රෝගීභාවයෙන් සිදු කරන දඬුවම් ගැන නොවේ. පින්වත, ආදරණීය මානසික සහ කායික දඬුවමක් නොලබන අකීකරු දරුවා අහිමි කොට ගන්නේ, පින්වත් දෙමාපියන්ගේ සහ ගුරුතුමාගේ ආදරය ම බව නිහතමානීව තේරුම් ගන්න දක්‍ෂ වෙන්න.
පින්වත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා, දුවා දරුවන් තම දෙමාපියන්ට උපස්ථානය කරද්දී, දෙමාපියන් ප්‍රාර්ථනා කරනවා, “පුතේ ඔබට සතර මහා නිධානය ලැබේවා!” යැයි කියලා. පින්වත, මේ සතර මහා නිධානය යැයි කියන්නේ කුමකට ද කියලා එම මහත්මයා භික්ෂුවගෙන් විමසුවේ. පින්වත, ඇත්තට ම සතර මහා නිධානය යැයි කියන්නේ කුමකට ද කියන්න භික්ෂුව දන්නේ නැහැ. පින්වත, ධර්මානුකූලව ඉහත කාරණය විග්‍රහ කොට ගන්න වෙන්නේ ආයුෂ, වර්ණය, සැපය, බලය කියලයි. පින්වත, පින්වත් දරුවන්ට ආයුෂය, වර්ණය, සැපය, බලයට වඩා කිනම් සතර මහා නිධානයක් දෙමාපියන් විසින් ප්‍රාර්ථනා කරන්න ද? පින්වත් දෙමාපියන්ගේ මහා බ්‍රහ්ම ගුණයන් තම දරුවන්ට අග්‍ර ම දෙයයි ප්‍රාර්ථනා කරන්නේ. පින්වත, මනුෂ්‍ය ජීවිතයකට ආයුෂ, වර්ණය, සැපය, බලයට වඩා වෙන කුමක් නම් අග්‍ර වෙන්න ද? පින්වත් දරුවනි, ඔබලාගේ දෙමාපියන් දරුවන්ට සතර මහා නිධානය ලැබේවා! යැයි, මෙත් සිතින් ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් ඔබලා සතුටු වෙන්න එපා. පින්වත, ආයුෂ, වර්ණය, සැපය, බලයට එකම මාර්ගය වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතයට එකතු කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, ඔබේ දෙමාපියන් ඔබලාට ප්‍රාර්ථනා කරන මේ සතර මහා නිධානය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය මයි. පින්වත, දෙමාපියන්ගේ උත්තම ආශීර්වාදයෙන් ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති සතර මහා නිධානය ජීවිතයට එකතු කොට ගත්තොත්, දුකෙන් ඔබව නිදහස් කරන උතුම් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් අවබෝධයෝ නමැති සම්මා ඥාන, සම්මා විමුක්ති මහා නිධානයෝ ජීවිතවලට එකතු කොට ගන්න පුළුවන්කම ලැබෙනවා.
පින්වත් මහත්මයෙක් භික්ෂුවට අටපිරිකරක් පූජා කරලා, “ස්වාමීන් වහන්ස, මට අනාගත සංසාරයේ ඒහිභික්ෂු උපසම්පදාව ලැබෙන්න ප්‍රාර්ථනා කරන්න” යැයි, භික්ෂුවට දැනුම් දුන්නා. පින්වත, මෙම ප්‍රාර්ථනාව තුළ සංසාර බිය, සංසාර දුර, සංසාර ගැඹුර ගැන පුංචි හෝ තැකීමක් නැති කෙටි ආස්වාදයේ දීර්ඝ ආදීනවයක් පමණක් මයි භික්ෂුව දැක්කේ. පින්වත, ඒහිභික්ෂු පැවිදි උපසම්පදාවක් ලබන්න නම්, නැවත බුදුරජාණන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න ම ඕනේ. “පින්වත, හිස ගිනිගත්තෙක් එම ගින්න නිවා ගන්න යම් වෙහෙසක් ද ගන්නේ, ඊටත් වැඩි වෙහෙසක් ගෙන භව ගින්දර නිවා ගන්න” යැයි කියන උතුම් සම්බුදු වදනට කෘතවේදීභාවය ඉහත ප්‍රාර්ථනාව තුළ නැහැ. පින්වත, උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් නොහඳුනන වර්තමාන ව්‍යාපාර ලෝකය තම ව්‍යාපාර දියුණුවට අදාළව අලුත්, අලුත් ව්‍යාපාරික බණ සමාජගත කරනවා. පින්වත, “මේ ජීවිතයේ දී අටපිරිකර පූජා නොකළොත්, පැවිදි උපසම්පදාව ලබන්න බැහැ” ය කියන කාරණය වර්තමාන ව්‍යාපාරික බණක් මිස, උතුම් සූත්‍රගත ධර්මයේ සඳහන් ධර්මයක් නම් නොවේ. පින්වත, සමාජගත වන මිථ්‍යා ව්‍යාපාරික බණ නිසා, වර්තමානයේ අටපිරිකර කියන අර්ථයේ ගුණාත්මකභාවය සහ මිල නියම කිරීම් බලවත් විකෘතියක් වෙලා තිබෙනවා. පින්වත, මෙම වෙළඳ පොළ විකෘතීන් පාලනය කරන්න රජයකට පුළුවන්කමක් නැහැ. පින්වත, මෙම විකෘතීන් ස්වාභාවිකව ම පාලනය වෙන්නේ පින්වත් බෞද්ධ ජනතාව උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අදාළව සද්ධර්මය දකින්න දක්‍ෂ වුණොත් පමණක් මයි.
පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්,ගරුත්වයෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන්, ප්‍රණීතභාවයෙන් සහ සියතින් සකසා මහා සංඝරත්නයට පූජා කොට ගන්නා වූ අටපිරිකරක් යනු අටමහා කුසල් ධර්මයන්ට අයිති ධර්මතාවයක්. පින්වත, අටපිරිකර පූජාවක් සැබෑ අටමහා කුසලයක් බවට පත් වෙන්න නම්, ඉහත කාරණා පහ පරිපූර්ණ වෙන්න ඕනේ. පින්වත, ඉහත පින්කමට කර්මය කර්මඵල විශ්වාසය මුසු වුණ තැන දී, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප සහ ආජීව අට්ඨමක ශීලයේ ආරක්‍ෂාව මහා සංඝරත්නය උදෙසා පූජාව සිදු කරන ඔබ තුළ තිබෙන්නට ඕනේ. පින්වත, භික්ෂුවගේ වසර හතළිස් හතරක ගිහි ජීවිතය පුරාවට ගිහි මම අටපිරිකරක් මහා සංඝරත්නයට පූජා කරලා නැහැ. පින්වත, ගිහි මම ගමේ පන්සලේ ඕනෑතරම් පින්කම් සංවිධානය කළත්, මට අවශ්‍ය වුණේ අටපිරිකර පූජා කිරීමට නොව, පින්කම් උපරිම ලස්සනට, හැමෝගේ ම ශ්‍රද්ධාව වැඩෙන ලෙස සිදු කිරීමටයි. ගිහි මට කවදාකවත් ඒහිභික්ෂු පැවිදි උපසම්පදාවන් ලබන්න තෘෂ්ණාවේ උපාදානයෝ තිබිලා නැහැ. පින්වත, භික්ෂුව මේ ජීවිතයේ දී උතුම් පැවිද්ද ලබන වෙලාවේ කතරගම ප්‍රදේශයේ මට සම්බන්ධයක් නැති පින්වත් ගිහි පිරිසක් ගස් පොතු කොටලා, පඬු හදලා, තුන් සිවුරු පඬු කරලා, දින දෙකක් කැප වෙලා, නැවුම් තුන් සිවුරු මට පූජා කළා. එම තුන් සිවුරු තුළින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සහ ගරුත්වය, කර්මය කර්මඵල විශ්වාසය, ප්‍රණීතභාවය, සියතින් සකසා පූජා කිරීම කියන අර්ථයන් පහ ම භික්ෂුව අදත් දකිනවා. පින්වත, සත්‍යය එසේ වුවත්, ගිහි ජීවිතයේ මම කවදාකවත් මහා සංඝරත්නයට අටපිරිකරක් පූජා කරලා නැහැ. පින්වත, වර්තමානයේ භික්ෂුව කොතැනක පින්කමකට වැඩියත් අටපිරිකර පූජාවෝ ගෞරවයෙන් ලබනවා. පින්වත, උතුම් සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ නෙක්ඛම්ම සංකප්පය සියලු පූජාවන්ට වඩා ශ්‍රේෂ්ඨයි කියලා භික්ෂුව අත්දැකීම් තුළින් ම සටහන් තබනවා.
පින්වත, අපි සද්ධර්මය දකින්න උත්සාහ කරන්නේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අදාළව නොව අපේ ආත්මීය දෘෂ්ටියට අදාළවයි. පින්වත, ආත්මීය දෘෂ්ටිය යම් තැනක ද එතැන පංච නීවරණ ධර්මයෝ ආධිපත්‍යය දරනවා. පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකය යැයි කියන්නේ පංච නීවරණයන්ගේ පාරාදීසයක්. පින්වත, පංච නීවරණයන්ගේ පාරාදීසයක් මත හිඳිමින් භික්ෂුව මේ සටහන් තබන්නේ ලෝකය නිවැරදි කරන්න නොවේ, ලෝකය නිවැරදි කරන්න බැහැය කියන කාරණය පින්වත් ඔබට තේරුම් කොට දෙන්නයි. පින්වත, මේ සටහන් චතුරාර්ය සත්‍යය ධර්මයෝ කෙරෙහි සතිය, සිහිය ඇති සහ ඇති කොට ගැනීමට වීර්යය වඩන පින්වත් ඔබට පමණක් මයි. පින්වත, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් සද්ධර්මය තම ජීවිතවලට එකතු කොට ගන්නේ බොහෝම අල්ප පිරිසක් යැයි ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව දුකෙන් පිරුණු ජීවිතය නමැති ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සොයද්දී, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථය හොඳින් කටපාඩම් කොට ගන්න. පින්වත, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව දුකට අත්වැල් අල්ලන පංච උපාදානස්කන්ධ ලෝකය යැයි කියන්නේ සතුට හරිම දුර්ලභ තැනක්. පින්වත, දුකට බර ලෝකය තුළ ඔබ අත්විඳින්නේ පුංචි සතුටක් නම්, එම පුංචි සතුට සඟවාගෙන ජීවත් වෙන්න එපා. එම පුංචි සතුට දුකෙන් පිරුණ ලෝකයට ප්‍රකට කරන්න. පින්වත, ඔබ අත්විඳින පුංචි සතුට බාහිර ලෝකයට සැඟවුවොත්, ඔබ පෙරළා දුකට මයි ආවැඩුවා වෙන්නේ.
පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ
Saru FM Media











