මම යන්න හැමදේම ලෑස්ති කරා. ඒත් දුව මට බල කරා එයාගේ වැඩේ කරල දෙන්න. ඒ නිසා ගමන යන්න එපා කියලා
නගර සභාවේ ලේකම්වරයයි ගමන ගිය හැම සේවකයෙකුමයි මියයෑම පුදුමයක්..
දුවගෙ වැඩේ නිසා මම ඇහෙන්නෑ වගේ සද්ද නැතුව හිටියා…
උදේ පාන්දර හතරට ගෙදර ළඟට ඇවිල්ල හෝන් කරා මට ඇහුණා
“උඹ ආවෙ නැත්තං කිසිම ආතල් එකක් නෑ…..”ලේකම් මහත්තයා කලින් දවස රෑ මට කිව්වා…
ඇල්ල ගමන මඟහැරුණු තංගල්ල නගර සභාවේ වැඩ පරිපාලක රංජි කියයි……
“නගර සභාවෙ මාත් එක්ක එකටම හිටපු දොළොස් දෙනාම මියගියා කියලා හිතනකොට මගෙ හිත වාවන්නෙම නෑ…… මේ ගමන වෙනදට මම යනවාමයි.
මේ ගමනටත් මම යන්න ලෑස්ති වුණා. ඇඳුනුත් හැදුවා.
කලින් දවසේ රෑ දුව විශ්වවිද්‍යාලයේ ඉඳල ආවා. එයා ආවේ වැඩ ගොඩක් කරන්න බලාගෙන. තාත්තා ගිහාම කොහොමද මම වැඩ ටික කරගන්නේ නොගිහින් බැරිද කියලා මගෙන් කීප සැරයක්ම ඇහුවා. ලේකම් මහත්තයා හැම වෙලේම මට කියලා තිබුණේ ගමන යමු කියලා.
“උඹ නැත්තං කිසි ආතල් එකක් නෑ. ඒ හින්ද රංජි එන්නම ඕන කියලා මට කීප වරක්ම කිව්වා. ඒත් දුවගේ වැඩ ටික නිසා මට යන්න බැරිම තත්ත්වයක් ආවා.
පාන්දර ගෙදර ළඟට ඇවිල්ල හෝන් කරනවා මට ඇහුණා. එළියට ගියොත් බේරිල්ලක් නැති බව මම දන්නවා. ඒ නිසා මම ඇහෙන්නේ නෑ වගේ හිටියා. දැන් ඒව මතක් වෙනකොට හිත වාවන්නේ නෑ…
හැම අවුරුද්දෙම අවුරුද්දට දෙසැරයක් විනෝද චාරිකාවක් සංවිධානය කරනවා. අපි නගර සභාවේ කටයුතු කළේ එකම පවුලක් වගේ. හැමෝම හරිම එකමුතුයි. මොනම දේකදි වුණත් හැමෝම එකා වගේ ඉන්නවා. මට හිතාගන්න බැරි හැමෝම එකටම මේ ලෝකේ හැරදා ගියේ කොහොමද කියලා.
පුංචි එවුන් අද ඇස් වහගෙන ඉන්න හැටි දැක්කහම මට දරා ගන්න අමාරුයි. මොකද මේ දරුවෝ අපිත් එක්ක හරි එකතුයි.
මොකද උන් ඉපදුන දවසේ ඉඳලම හැම අවුරුද්දකම අපි හැමෝම එකට විනෝද ගමනක් යනව. ඒ නිසා මේ කාර්යාල සේවකයෝ කියන හැඟීමක් අප අතර තිබුණේ නෑ…..”
තංගල්ල නගර සභාවේ වැඩ පරිපාලක රංජි මහතා කියා සිටියේය.
ඇල්ල පොලිස් වසමේ, ඇල්ල වැල්ලවාය මාර්ගයේ විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් ගමන් කරමින් සිටි බස් රථයක් සැප්. 4 දින රාත්‍රියේ අඩි පන්සියයක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු නගර සභා සේවකයන් දොළොස් දෙනකු සහ කුඩා දරුවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූයේ ඓතිහාසික කරුණක් ඉතිරි කරමිනි.
නගර සභාවේ සේවය කරමින් සිට විනෝද චාරිකාවට සහභාගි වූ සියලු දෙනාම ජීවිතක්ෂයට පත් වූ බවට තංගල්ල නගර සභාවේ වාර්තාවක් තබාය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, රියැදුරු සමග බස් රථයේ මගීන් 30 දෙනකු ගමන් කර ඇති බව ය.
ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 23 හා 24 කණු අතර ප්‍රදේශයේදී සැප්. 4දා රාත්‍රී 9:00ට පමණ මෙම අනතුර සිදුවී තිබිණි.
බස් රථය ඉදිරියෙන් පැමිණි ජීප් රථයක සහ මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටෙහි ද ගැටී අඩි පන්සියයක් පමණ ප්‍රපාතයකට පෙරළී ඇතැයි පොලිසිය කියා සිටියේය.
පුද්ගලයන් මුදාගැනීම සඳහා පොලිසිය, යුද්ධ හමුදාව, ගුවන් හමුදාව, ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසීන් එක්ව සිටියහ. මෙම අනතුරේදී අපූරු සිද්ධියක් සිදුවිය. බදුල්ල රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් අනතුර සිදුවූ ස්ථානයට වහා දිව යෑමය. ඒ පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වූයේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාය.

“අපි කණ්ඩායමක් විදියට අනතුර සිදුවූ ස්ථානයට ගියා. නමුත් එම ස්ථානයේ තුවාල ලබා සිටි බොහෝ දෙනකු අසලටම යන්නට හැකියාවක් ලැබුණේ නැහැ. හැකි තරමට පුළුවන් තරම් තුවාල වූ හැමදෙනාටම වගේ අපි ඒ ස්ථානයේදීම ප්‍රතිකාර ලබා දුන්නා. අනිත් හැම දෙනාම රෝහලට පිටත් කර එවීමට යුහුසුළුව කටයුතු කළා.”
මෙම අනතුරින් බස් රථයේ රියැදුරු ඇතුළු පිරිමි පුද්ගලයන් 6 දෙනකු කාන්තාවන් 9 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය තහවුරු කළේය.
බස් රථයේ පිරිස මුදා ගැනීම සඳහා සහය වූ පුද්ගලයන් දෙදෙනකු ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවසීය.
මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු සේවකයන් 12 දෙනකු සිටින බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ද තහවුරු කළේ ය.
ඔහු සඳහන් කළේ, එක් සේවිකාවක අතුරුදන් බවත් ඇය සොයා මෙහෙයුම් සිදු කෙරෙන බවත් ය. නමුත් ඒ පිළිබඳ දැඩි සැකයක් පවතී. බස් රථයට යට වී තවත් පුද්ගලයකු ඇති බවට රාවයක් පැතිර ගියද එසේ නොවන බවටද රාවයක් පැතිර යමින් තිබේ. එසේ වුවද බස් රථය ඇති ස්ථානය පරීක්ෂා කිරීමේ කටයුතු නිමා කර තිබුණේ නැත.
අනතුරට සම්බන්ධ ජීප් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියා සිටියේය. මියගිය පුද්ගලයන්ගේ මෘත ශරීර දියතලාව, බදුල්ල සහ බණ්ඩාරවෙල රෝහල්වල මෘත ශරීරාගාර තුළ තැම්පත් කර තිබුණේ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහාය. ඒ වන විට තංගල්ලේ වැසියන්, ඥාතීන් වැල නොකැඩී බදුල්ලට පැමිණ සිටියහ. ඒ විනෝදයට ගියත් තම තමන්ගේ හිතෛශීන්ගේ මියගිය සිරුර භාර ගැනීමටය.
අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

බස් රථයේ අධික වේගය හේතුවෙන් එය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පැවසීය. මේ අතර බසයේ ඉදිරිපස ගමන් කළ තරුණයකු කියා සිටියේ රියැදුරු මහතා බසයේ තිරිංග ක්‍රියා විරහිත වී ඇති බව කියා සිටි බවය. ඔහු විහිළුවට ඒ බව කියන බව හැඟී ගිය හෙයින් එය ඒ මොහොතේ සැලකිල්ලට නොගත් බවද ඔහු කියා සිටියේය.
තංගල්ල මහ නගර සභාවේ සේවකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රැගෙන විනෝද චාරිකාවක් සෑම වසරකම අවස්ථා දෙකකදී යන බවත්, ඒ සඳහා වෙනම සංවිධායක මණ්ඩලයක් සිටින බවත් කියා සිටියේ නගර සභාවේ වැඩ බලන වැඩ පරිපාලක රංජි මහතාය. පුරුද්දක් විදිහට විනෝද චාරිකාව යන පිරිස සෑම වසරකම ඊට සූදානම් වන්නේ පුරුදු ගමනක් යන්නට ඉන්න පිරිසක් ලෙස බැව්ද ඔහු කියා සිටියේය.
සමන්ති වීරසේකර
Saru FM Media