සත්කාරකත්වයේ ගෞරවය රැක ගනිමින් ඉන්දියාවට ලෝක කුසලානය

0
4

නිශ්මං රණසිංහ ,මාර්තු 09 කොළඹ LNW:

ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට සත්කාරකත්වය ලැබුණු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වයේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් ඉන්දියාව ලෝක කුසලානයේ හිමිකාරීත්වය සහතික කර ගත්තේය.ඒ නවසීලන්තයට එරෙහිව අවසාන තරගයෙන් ලකුණු 96 ක පහසු ජයක් හිමි කර ගනිමින්ය.

අවසාන පූර්ව තරගයේදී විශාල අභියෝගයකට මුහුණ දෙමින් අවසාන මොහොත දක්වාම ජයග්‍රහණය අවිනිශ්චිත වූ සටනකින් පසුව ඉන්දියාව එංගලන්තය පරදා අවසාන තරගයට පිවිසියේය.ඒත් ඊට වඩා පහසුවෙන් දකුණු අප්‍රිකාව අභිබවමින් අවසාන තරගයට පිවිසි නවසීලන්තය අවසාන තරගයේදී එම මානසිකත්වයට දුරින් සිට කටයුතු කළ බවක් දකින්නට තිබිණ.

කාසියේ වාසිය ලැබූ නවසීලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස නවසීලන්තයට කළ ආරාධනය ඉන්දියාවට ලැබුණු ත්‍යාගයක් බඳු වූවේ පළමු පිතිකරුවන් තිදෙනාම දියත් කළ ඉණිම් හේතුවෙන්ය.අට දෙනාගේ වටයෙන් ඉන්දියාව අවසාන සිව්දෙනා අතර රඳවන්නට අවශ්‍යය කාර්යයත්,අවසාන තරගයට කැඳවාගෙන ඒමේ කාර්යයත් නිසි පරිදි ඉටු කළ සංජු සැම්සන් අවසාන තරගයේදී ඉන්දීය ඉණිමේ වැඩිම ලකුණුලාභියා විය.ඔහු පන්දු 46 න් ලකුණු 89 ක් රැස් කරන්නට සමත් විය.ඉන්දියාවේ ඉරණම විසඳු පිතිකරුවා වෙමින් කණ්ඩායමෙන් ඉවතට සහ ඇතුළට ගනිමින් සිටි සංජු සැම්සන් තීරණාත්මක තරග තුනේදීම ඉන්දියාව වෙනුවෙන් කළ දායකත්වය නිසා ඔහු තරගාවලියේම වීරයා විය.

අභිෂේක් ෂර්මා සහ ඉෂන් කිෂන් ඊටත් වඩා වේගවත් ඉණිම්වලින් ඉන්දියාව ශක්තිමත් කිරීමට දායක විය.ෂර්මා පන්දු 21 න් ලකුණු 52 ක් ලැබීය.කිෂන්ගේ ලකුණු 54 ක් වූ ඉණිමට ගත වැය වුණේ පන්දු 25 ක් පමණි.එහෙත් ඉන්දියාවට ආරම්භක වේගය කළමණාකරනය කිරීම පහසු නොවිණ.මිචෙල් සැන්ට්නර් සාපේක්ෂව හොඳ පන්දු යැවිමකින් පවත්වාගෙන ගිය ලකුණු වේගයට බාධා ඇති කළේය.එකම පන්දු ඕවරයක් තුළ නීෂම් විසින් සංජු සැම්සන්,ඉෂන් කිෂන් සහ නායක සූරියකුමාර් යාදෙව් දවා ගැනීම ලකණු වේගයට කළ තවත් බාධාවක් විය.එහෙත් අවසාන පන්දු ඕවරයේ නීසඹ්ට එරෙහිව ශිවම් ඩුබේ දියත් කළ ඉණිමෙන් ඔහු පන්දු 8 දී ලකුණු 26 ක් ඉන්දියාවට ලබා දෙමින් ඉන්දීය ඉණිම කඩුලු 5 ට ලකුණු 255 ක් බවට පත් කළේය.ඉන් ලකුණු 24 ක් ම පැමිණියේ නීසම් විසින් යවන ලද අවසාන පන්දු ඕවරයේදී ය.

ඉන්දියානු ඉලක්කයට මුහුණ දීමේ ප්‍රධානම වගකීම නවසීලන්තය විසින් පවරා බලා සිටියේ ආරම්භක පිතිකරු යුගලය වන ටිම් සෙයිෆර්ට් වෙත සහ ෆින් ඇලේන් වෙතය.එහෙත් ප්‍රවේගකාරී ෆින්ගේ ප්‍රහාරය හතරේ සීමාව අසළ සිටම තිලක් වර්මා රැකගත් උඩ පන්දුවත් සමඟ නිමා විය.ඔහු ලකුණු 9 ට දවා ගැනීමට සමත් වූ පන්දු යවන්නා අක්ෂාර් පටෙල්ය.

ඉනික්බිති උදා වූයේ බුම්රාගේ සමයය.ලොව සිටින භයානකම පන්දු යවන්නා ලෙස බොහෝ දෙනෙකු හඳුන්වන බුම්රාගේ අසාමාන්‍ය ඉරියව්වෙන් මෙන්ම වේගයෙන් ද නවසීලන්තයට එරෙහිව කළ දඩයම පන්දු ඕවර් 4 ලකුණු 15 ට කඩුලු 4 ක් ලෙස දැක්විණ.මෙය ඉන්දීය තණ්ඩායමට අවසාන තරගය ජය ගැනීමට අවශ්‍යය පසුබිම සනාත කළ පන්දු යැවීම විය.ඒ නිසාම අවසාන තරගයේ වීරයා වූයේ බුම්රාය.නවසීලන්ත දඩයම ආරම්භ කළ අක්ෂාර් පටෙල්ට ද ලකුණු 27 ට කඩුුලු 3 ක් හිමි විය.නවසීලන්තය වෙනුවෙන් පන්දු 26 න් ලකුණු 52 ක් ලැබූ ටිම් සෙයිෆෙර්ට් ට හොඳ සබඳතාවයක් ඇති කරන්නට ප්‍රහාරාත්මක සහයෝගයක් දෙන්නට කිසිඳු නවසීලන්ත පිතිකරුවෙකු අසමත් විණි.යළිත් එවැනි මැදිහත්වීමක් දැකිය හැකි ඉණිමක් නවසීලන්ත ඉණිම අග භාගයේ නායක මිචෙල් සැන්ට්නර් දියත් කරමින් පන්දු 35 න් ලකුණු 43 ක් ලැබුවත් ඒ වන විට නවසීලන්තය යළි ගොඬ ගැනීමක් සිතන්නට බැරි තරමට කඩා වැටී තිබිණ.අවසාන කඩුල්ල අවසාන පන්දු ඕවරය දක්වා යන්නට ඉඩ නොදී 19 වන ඕවරයේ අවසාන පන්දුවට බිඳ වැටෙන විට නවසීලන්ත ඉණිමේ ලකුණු පූවරුව පෙන්නුම් කළේ ලකුණු 159 ක් පමණි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සංවිධානය කළ මේ තරගාවලියේදි වැඩිම අවධානයකට ලක් වූයේ ශ්‍රී ලංකාවය.ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයන් පකිස්තානය සමඟ ගනු දෙනු කර ඇති ස්වභාවයන්ගේ ඉතිහාසය ද පදනම් කරගෙන මේ ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩා පිටියේ දකින්නට නොතිබි තරගයක් පවත්වන්නට හැකි විය.ඊට රාජ්‍ය නායකයා ලෙස අනුර කුමාර දිසානායකගේ ද සහය හිමි විය.ඒ අනුව වැඩිම ප්‍රේක්ෂක පිරිසක් සහභාගි වන වැඩිම මුදල් ආදායමක් හිමි වුණ ඉන්දීය පකිස්තාන තරගය පැවත්විමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා විය.ඒ නිසාම පකිස්තානුවන් සහ ඉන්දියානුවන් තමන්ගේම රටමෙන් හැසිරෙමින් පැමිණ ශ්‍රී ලංකාවේ බොහෝ කේෂ්ත්‍රවලට විදේශ මුදල් එකතු කර ගිය තරගයක් පැවත්විමේ භාග්‍යය ශ්‍රී ලංකාවට හිමි විය.

තරගාවලිය වෙනුවෙන් පැමිණි විදේශිකයන් ප්‍රමාණය සහ ඔවුන් ලංකාවේ ආර්ථිකයේ නඟා සිටුවීම සඳහා දැක් වූ දායකත්වය රටක් හැටියට ක්‍රිකට් කණ්ඩායම අවසාන කණ්ඩායම් අටට පැමිණ නැවතුණ ද ශ්‍රී ලංකාව රටක් හැටියට ලැබූ ජයකි.එසේම ආසියාවේ ක්‍රීකට් ක්‍රීඩා කිරීමට හොඳම මිත්‍රශීලීම රට හැටියට තරගාවලිය තුළත් මේ වන විට ගල්ෆ් කළාපයේ අවදානම සමඟත් ශ්‍රී ලංකාව පත්වෙමින් ඇත.ක්‍රිකට් ගම් නියම් ගම් බලා පිවිස එහි පෝෂණයට අවශ්‍යය කටයුතු ද,සරු බිම් කරා ක්‍රීකයන්ට පැමිණිය හැකි විවිධ මාවත් ද විවර වෙමින් පවතින අතර ලංකාවේ ලෙදර් බෝල ක්‍රීකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය පවත්වාගෙන යාම සඳහා මෙන්ම ඊට වැයවන අකාරයේ විශාල මුදලක් වියදම් කිරීම ද යන කාරණා නිසා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කේන්ද්‍ර කර ගත් සංස්කෘතියක් රට තුළ ස්ථාපිත වෙමින් ඇත.

ග්‍රාමීය පෙදෙස් කරා යන යටිතල් පහසුකම් සංවර්ධනය ක්‍රීඩා භාණ්ඩ ද සමඟ ඇතිවෙමින් තිබෙන ප්‍රබෝධය ආරක්ෂා කිරීම සඳහා ලංකාවේ විවිධ පැතිවලින් ජාතික සංචිතයට එන ක්‍රීඩකයන් රැක ගැනීම යනු ඔවුන්ට ලැබෙන අති විශාල මුදල් සම්භාරය නොවී එම මුදල් සමඟ ජීවිතයට එකතු වන වෙනස්කම් උපේක්ෂාවෙන් දරා ගැනීමට හැකි සහ පවත්වාගෙන ගිය සාමාන්‍ය සමාජ සබඳතා සහ මිනිස් සබඳතාවලින් මිදෙන්නට නොදී තබා ගැනිම වැනි කාරණාවන් ද ඉටුවීමේ අවශ්‍ය්‍යතාවය දැඩිව දැනෙමින් ඇත.ක්‍රීඩක කළමණාකරුවන් ගැන පවතින තත්ත්වයට එහා ගිය කළමණාකාරීත්වයක් ඇති කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කල්පනා කළ යුතුය.මේ වන විට පාලනය කළ නොහැකි තරමට ප්‍රේක්ෂකයන් සහ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ ක්‍රිකට් විවේචන සඳහා පරිපාලනයට කෙළ හලන පිරිස්වල ක්‍රියාකාරිත්වය වගේම තමන්ගේ ක්‍රීඩකයන් සංචිතවලින් කණ්ඩායමෙන් ඉවත්වන විට කළමණාකරුවන් ඇති කරන විවේචන සහ බලපෑම් ද වත්මන් ඛේදවාචකයට හේතුවක් වන්නේය.

මේ සියල්ල ගැන සිතා බැලිය යුතු,ක්‍රිකට් කණ්ඩායම අවසන් අට දෙනා අතරට පැමිණි,වෙනස්ව සිතීමේ සංකල්පය සහ මානසිකව ජාතික ක්‍රීඩකයා හැසිරවීම සඳහා වෙනස් බරක් තැබිය යුතු බව සහතික කළ තරගාවලියක අවසානයේ සත්කාරකත්වයේ ගෞරවය රැක ගනිමින් ඉන්දියාව ලෝක කුසලානය එහි රඳවා ගැනීම ගැන එහි සම සත්කාරකයා ලෙස අපටද සතුටු විය හැකිය.ඉන්දියාවට සුබ පතන අතරේම නව විස්සයි විස්ස සංස්කෘතියක් ලොව පුරා පතුරවමින් ඇමෙරිකාව,ඉතාලිය වැනි රටවල්වල ක්‍රීකට්මය පිබිදීමක් ඇති කළ තරගාවලියේ අවසන් අට දෙනා අතරට ඒම සම්බන්ධයෙන් අවිනිශ්චිතභාවයක් පෙන් වූ ශ්‍රී ලංකාව,සිම්බාබ්වේ මෙන්ම බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අවසාන අට අතරට පිවිසි සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල් අවසන් අට දෙනා අතරට හෝ නොපිවිස ගෙදර ගිය තරගාවලියක ක්‍රිකට්මය චමත්තාරය විඳ ගැනිම වෙනුවට ලංකාවේ බොහෝ දෙනෙකු සිටියේ විවිධ බලපෑම්වල ඉත්තන් වී විම කණගාටුදායක තත්ත්වයකි.
පහතින් දක්වා තිබෙන්නේ අවසාන මහා තරගයේ දත්තවලට පිවිසීමේ මගය.
https://bit.ly/4ufDm9a

The post සත්කාරකත්වයේ ගෞරවය රැක ගනිමින් ඉන්දියාවට ලෝක කුසලානය appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here