පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම්
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක පක්ෂයක් ලෙස එක් කිරීමට සාකච්ඡා පැවැත්වූද එම සාකච්ඡා කිසි දිනක සාර්ථක නොවන බව දමිළ ප්‍රගතිශීලී සංධානයේ නියෝජ්‍ය නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පැවසීය.
කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ හැටන් නගරයේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ ඊයේ (13) දින පැවති මාධ්‍ය හමුවකදී දිගම්බරම් මහතා ඒ බැව් පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිගම්බරම් මන්ත්‍රීවරයා කියා සිටියේ පක්ෂ දෙකම වෙන් වෙන් වශයෙන් සිට කටයුතු කර එළබෙන සෑම මැතිවරණයකදීම පක්ෂ දෙකම එකට එක් වී මැතිවරණයට ඉදිරිපත් වීමෙන් බලය ලබා ගැනීමට හැකි බවයි. දමිළ ප්‍රගතිශීලී සංධානය එම යෝජනාව පක්ෂ දෙකටම ඉදිරිපත් කර ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.
එක රටක් එක නීතියක් තුළ ගල්කිස්ස අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළ නීතිඥවරයාටද නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ. වත්මන් රජය මගින් දූෂිතයන් අධිකරණය හමුවට පැමිණ වීමට ගෙන යන වැඩපිළිවෙළ අගය කළයුතු දෙයක් බවත්, ඒ සඳහා තමන් රජයට පූර්ණ සහයෝගය ලබාදෙන බවත් පලනි දිගම්බරම් මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.
ඉකුත් රජය වතුකරයේ ජනතාව හමුවේ තමන් නිවාස රැසක් ඉදි කළ බවත්, එම නිවාසවලට හිමිකම් ඔප්පු තමන් ලබාදුන්නද වත්මන් රජය මගින් එම නිවාස ලාභීන්ට ලබාදෙන්නේ හිමිකම් සහතිකයක් පමණක් බවත් පලනි දිගම්බරම් මන්ත්‍රීවරයා කියා සිටියේය. ජනාධිපතිවරයා වතු කම්කරුවන්ට ලබාදුන්නේ හිමිකම් ලිපියක් බවට පැවසූවද එම පක්ෂයේම ඇතැම් ඇමැතිවරු විසින් එම හිමිකම් ලිපිය ඔප්පුවක් ලෙස සලකා ප්‍රකාශ නිකුත් කරන බවත්, වතු කම්කරුවන්ගේ වැටුප මේ වසර අවසන් වීමට ප්‍රථම රු.1700 දක්වා වැඩි කරන බවට බණ්ඩාරවෙලදී ජනාධිපතිවරයා පොරොන්දු වුවද තමන් වතු සමාගම් සමග ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමේදී තේ කිලෝවක නිෂ්පාදන වියදම ඉහළ යෑම හමුවේ එම මුදල ලබාදීමට නොහැකි බව වතු සමාගම් විසින් පැවසූ බවද පලනි දිගම්බරම් මහතා එම මාධ්‍ය හමුවේදී තවදුරටත් පැවසීය.
නුවරඑළිය – නාලක රත්නායක
Saru FM Media