සජබයට එක්වූ එජාප පාක්ෂිකයන්ට පැනවූ තහනම් නියෝග අහෝසි කරයි

0
6

සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටුවූ හා විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට පෙරේදා (16දා) රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී පැනනැඟිය හැකි නීතිමය පසුබිම සොයා බැලීම සඳහා හිටපු නීතිපති හා ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද එහිදී පියවර ගෙන තිබේ. සමගි ජන බලවේගයට එක්වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගත් මෙම පියවර නිසා යළි එක්සත් ජාතික පක්ෂයට එක්වී සහයෝගයෙන් කටයුතු කිරීමට තිබූ බාධක ඉවත් වූ බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී රැස්වීම පැවැත්විණි. රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට පොදු සන්ධානයකින් කටයුතු කිරීම සඳහා සහභාගි වූ සියලු පාර්ශ්ව වෙත ස්තුතිය පළ කිරීමේ යෝජනාවක් ද මෙම රැස්වීමේදී ඒකමතිකව සම්මත විය.
චමින්ද සිල්වා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here