සංස්කෘතික ඇඳ මකුණා සහ අසංස්කෘතික රේන්ද මකුණා

0
11

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධම මකුණා ඇඳ මකුණා ය. එක්දහස් පන්සිය ගණන්වලදී පෘතුගීසි ජාතිකයන් සමග උන්ගේ නැව්වල නැගී ලංකාවට පැමිණි ඇඳ මකුණා මුහුදුබඩ ලණු ඇඳන් සහ වියන ලද පුටුවලට බෝ විය. මේකා කිසිවකු ඇඳේ නිදාගත් විට බුරුතු පිටින් පැමිණ ඇඳේ නිදාසිටින එකාගේ ලේ බිව්වේ ය. ඇඳ මකුණා ලංකාවට පැමිණ අවුරුදු පන්සිය විසිපහකට කිට්ටු ය. මේ වනවිට මේ රටේ සනීපාරක්ෂාව සහ පිරිසිදුකම දියුණු වී ඇති නිසා ඇඳ මකුණන්ගේ ව්‍යාප්තිය අඩුවී තිබේ. එසේ වුවද අවුරුදු පන්සිය විසිපහක් අපේ සංස්කෘතිය හා බැඳී සිටි බැවින් ඇඳ මකුණා අපගේ සංස්කෘතික මකුණා බවට පත්ව සිටී. ඒ අතර අප දන්නා ඊළඟ ප්‍රසිද්ධම මකුණා පිටිමකුණා ය. මේකා විවිධ ශාක පත්‍රවල පැතිර යමින් සුදු පැහැති පිටි වැනි ද්‍රව්‍යයක් එම ශාක පත්‍ර මත මුදාහරිමින් එම ශාක පත්‍ර කා දමමින් විශාල පිස්සුවක් කෙළී. කාලයෙන් කාලයට මේ මකුණු උවදුර වැඩිවූ විට කෘමිනාශක යොදා මකුණා විනාශ කරනු ලැබේ. එහෙත් කාලයෙන් කාලයට ඌ නැවත මතුවේ. මේ අතර මේ රටේ දකුණු පළාතේ පොල්ගස්වලට බෝවුණු විශේෂ කෘමියකු ගැන අපට අසන්නට ලැබේ. රේන්ද මකුණා ලෙස හඳුන්වන මේකා නිසා විනාශයට පත් වූ පොල්ගස් පන්දහසක් කපා දැමීමට ආණ්ඩුව තීරණය කර ඇත. මේ ගස් කැපීමට පැමිණි රජයේ නිලධාරීන් සහ සාමාන්‍ය ජනතාව අතර ගැටුම් හටගන්නා හැටි ද නොබෝදා රූපවාහිනියෙන් ප්‍රදර්ශනය විය. රේන්ද මකුණාගේ ජීවවිද්‍යාත්මක නාමය වන්නේ Stethanitis Typicus ය. මිලිමීටර් තුනකට වඩා දිග නැති මේ කෘමියාට ගොතන ලද රේන්ද වැනි ඉතා ලස්සන විනිවිද පෙනෙන පියාපත් දෙකක් තිබේ. පොල්, කෙසෙල් සහ කරදමුංගු යනාදියට මේ මකුණා ඉතා පහසුවෙන් බෝවෙයි. ඊළඟට ඌ මුළු ගසම කා දමයි. එවිට ඉතා අසාමාන්‍ය ලෙස ගස වියළී ඉතිරි කොළ ටික ද හැලී මරණයට පත්වෙයි. රේන්ද මකුණා දකුණු ආසියාව ස්වකීය නිජභූමිය කරගත් සතෙකි. එසේම බටහිර පැසිෆික් ප්‍රදේශයේ පිහිටි ඝර්ම කලාපීය රටවල ද මේ සතා ජීවත් වෙයි.

දැන් අපි රේන්ද මකුණා ගැන යම් තරමකින් දනිමු. රේන්ද ගෙතීම හැර වෙනත් සියලු වර්ගයේ හානි කිරීමට මේ සතාට පුළුවන. මෙවැනි කෘමීන් පාලනය කළ නොහැකි තරමට බෝවූ විට මනුෂ්‍ය ශිෂ්ටාචාරයක්ම වඳ කළ හැකි ය. ඒ මනුෂ්‍යයාට හිමි බෝග වර්ග රේන්ද මකුණා විසින් කා දමනු ලැබීම නිසා ය. එවිට මිනිසුන්ට සිදුවන්නේ නිරාහාරව මියයෑමටයි. තත්ත්වය මෙය නම් අපගේ අවශ්‍යතාව විය යුත්තේ රේන්ද මකුණා වඳකිරීම ය. ඒ කටයුත්ත සඳහා මැලතියන් නමැති රසායන ද්‍රව්‍යය යොදාගත හැකි ය. එය නිසි පරිදි ජලය සමග මිශ්‍ර කිරීමෙන් පසු ගස්වලට ස්ප්‍රේ කළ යුතු ය. එවිට ගස් නොමැරෙයි; එනමුදු රේන්ද මකුණා මැරෙයි. මෙයට අමතරව කළ යුත්තේ රේන්ද මකුණා බෝවූ ගස් සියල්ලම කපා දමා පුළුස්සා දැමීම ය. එහෙත් රේන්ද මකුණා නිසා ආසාදනය වූ පොල්ගස් කැපීමට ආණ්ඩුවෙන් එන විට පොල් ඉඩම් අයිතිකාරයෝ ආණ්ඩුවේ නිලධාරීන්ගේ බෙල්ල කැපීමට සූදානම් වෙති. මෙහිදී අපේ ජනයා කිසියම් ආකාරයකට බුද්ධිමත්ව සහ ඉවසීමෙන් කටයුතු කළ යුතු වෙයි. සමහර විට එක පොල්ගසක් කැපීමට ඉඩ නොදීමෙන් පොල් වත්තක්ම විනාශ වීමට ඉඩ තිබේ. රේන්ද මකුණා සංහාරය කිරීම සඳහා තවත් උපක්‍රමයක් පොල් වගාව බහුල ඉන්දුනීසියාව සහ මැලේසියාව යන රටවල සිදුකරනු ලැබේ. එනම් ඇලෙනසුලු ද්‍රව්‍යයක් කහ පැහැති ප්ලාස්ටික් පටිවල තවරා පොල්ගස් අතර එල්ලා තැබීමයි. රේන්ද මකුණා කහ පාටට කැමැතිය. එබැවින් පොල් වත්තේ සංචාරය කිරීමට එන අතර, පොල්ගස් අතර තිබෙන කහපාට පටි මොනවා ද යන්න සොයා බැලීමට ඌ එම පටි මත වසයි. එවිට පටියට ඇලෙන රේන්ද මකුණාට ගැලවීමක් නොමැත.

මීට කාලයට පෙර අවස්ථා කිහිපයකදීම ලංකාවේ පොල්වතුවලට පොල් කුරුමිණි උවදුර වැලඳින. මෙය පළමු වරට පටන් ගන්නේ 70, 77 සමගි පෙරමුණු ආණ්ඩුව තිබූ කාලයේ ය. එකල මේ රටේ කෘෂිකර්මයට විශේෂ තැනක් ලැබී තිබිණි. කෘමිනාශක විශාල වශයෙන් රට තුළට ගෙන්වා තිබිණි. ඒ නිසා පොල් කුරුමිණියා සංහාරය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හැකි විය. පොල් කුරුමිණියා යනු ඇතැම් විට අඟල් තුනක් තරම් දිගට හැදෙන පොඩි ගේ කුරුල්ලකු බඳු කෘමියෙකි. මේකා සියලුම පොල් ඇට්ටි කා දමයි. ඊළඟට හැකි තැන්වලින් පොල්ගසේ හිල් විද පොල් බඩය ද කා දමයි. එවිට එම පොල්ගසෙන් කළ හැක්කේ පරාල ඉරීම පමණි. එහෙත් ලංකාව පොල් පරාල සහ පුවක් පරාලවලින් ස්වයංපෝෂිත වූ රටකි. පොල් ඉඩම් වැඩිහරියක් කැබලි කළ වෙන්දේසිකාරයෝ එම ඉඩම් කැබලි විකිණූ විට මහජනයා එහි ගෙවල් තනනු පිණිස පොල්ගස් කපා පරාල ඉරීමට විකුණූහ.

රේන්ද මකුණාගේ පළමු වටයේදීම පොල්ගස් පන්දහසක් කපන්නට සිදුවීම ඉතා භයානක ක්‍රියාවකි. එමගින් අඩුම වශයෙන් එක පොල් මුරයකට පොල් ගෙඩි ලක්‍ෂ හත, අටක්ම ලංකාවට අහිමි වේ. දැනට පොල් මිල රුපියල් 220 ද ඉක්මවා ගොස් ඇත. ආණ්ඩුව පොල් ප්‍රශ්නය කවදාවත් විසඳුවේ නැත. ඒ නිසා අඩු ගණනේ රේන්ද මකුණාගේ ප්‍රශ්නයවත් ආණ්ඩුව විසඳනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here