1996 වනවිට අපේ රටේ තිබුණේ දැන් පාකිස්තානයේ පවතින්නාවූ අර්බුදයේ තවත් පැතිකඩකි. එදා ක්‍රිකට් ගසන්නට නොව නිදහසේ හුස්ම ගන්නටවත් අවස්ථාවක් නොදුන් භයානක ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට ගොදුරු වූ අපේ රටේ ක්‍රිකට්වලට පණ පොවා ලෝක කුසලානය පවා දිනා ගැන්මට පාර කපා දුන් රටක් ලෙස පාකිස්තානය ඉතිහාසගත වී හමාරය. අප ඒ අඳුරු අතීතය පසුකර පැමිණියද අපට එදා සවි ශක්තියක් වූ පාකිස්තානය අද සිටින්නේ අපි එදා ඇද වැටී සිටි වළේය.
අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනකුට පාකිස්තානයේ දී එල්ල වූ අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරය හමුවේ එරට තුළ ජාත්‍යන්තර ක්‍රිකට් දකින්නට ලැබුණේම නැත. ඒ වෙනුවට අබුඩාබියට හෝ ඩුබායි වෙත ඔවුන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ෂිප්ට් කරන්නට සිදු වූයේය. එරට ඇතැම් නම ගිය ක්‍රීඩකයන් වසර ගණනාවක් සිය ප්‍රේක්ෂකයන් හමුවේ ක්‍රීඩා කරන්නට ද අපොහොසත්ව තිබිණ.
එකී අවාසානාවන්ත තත්ත්වය අකා මකා දැමීමට පසුගියදා සිංහ කණ්ඩායමක් පාකිස්තානයේ තරග සංචාරයකට යළිත් එක්වීම සැබැවින්ම පැසසිය යුත්තකි. ඒ සඳහා අවසරය ලබා දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයට එහි ගෞරවය කොන්දේසි විරහිතවම ලබා දිය යුතුව තිබේ.
අතීත කළගුණ සලකා පාකිස්තානයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටින් යන විට මෙරට සුවහසක් ක්‍රිකට් ප්‍රේක්ෂයන්ට එදා ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ඩ්‍රාවෙඩ් මියැන්ඩාඩ්, වසීම් අක්‍රම්, අබ්දුල් කාදර්, ඇතුළුව අසාම් බාබර් දක්වා රූප මැවී පෙනෙන්නට ඇති බව නිසැකය.
පසුගිය ආසියානු විස්සයි විස්ස කුසලානයේ දී පැතුම් නිස්සංක විදහා දැක්වූ පිතිකරණ විලාසයේ මතක තවමත් හද තුළ ඉතිරි වූ මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් බලා සිටින්නට ඇත්තේ පාකිස්තානයට හතර අතේ නෙළා, විකට් පොලු ගලවා දමා වැඩ පෙන්නා මෙන්ම පාකිස්තානය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සුදුසු බවට බීජ පැළ කර එනු ඇතැයි කියාය.
කුමන හෝ අභියෝගයකට මුහුණ දෙන බව කියා රටින් පිට වූ චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එම වගකීම හරියටම ඉටුකරන අයුරක් නම් පෙනෙන්නට නොවුණි. අවාසනාවකට අපේ ක්‍රිකට් කණ්ඩායම එරට සිටිද්දී බෝම්බයක් පිපිරී යෑමෙන් තත්ත්වය තවත් ව්‍යාකූල වන්නට විණ. ක්‍රීඩකයන් කිහිප දෙනකුම ආපසු එන්නට ගුවන් ටිකට් පත් ද වෙන් කර තිබූ බව කියවැණි.
කෙසේ නමුත් පාකිස්තානය විසින් අපේ කණ්ඩායමට එතෙක් ලබා දී තිබූ ඉතා ඉහළ ආරක්ෂාව බෝම්ම පිපිරීමෙන් අනතුරුව තවත් ඉහළ නංවමින් සුපිරි ආරක්ෂාවක් ලබා දී තිබිණ. ඇත්තටම එය ලොමු ඩැහැගැන්වෙන තරමේ ඉතා තියුණු මට්ටමේ ආරක්ෂාවක් බව දැකගන්නට හැකිවිය. එහෙත් එම සුපිරි ආරක්ෂාව හමුවේ අපේ එවුන් ක්‍රිකට් ගසනවා වෙනුවට ක්‍රිකට් හාන ආකාරය නම් දැකගන්නට හැකිවිණ. අසල්වැසි ඉන්දියාව අභිෂේක් ෂර්මා, සූර්යවංශී වැනි ක්‍රිඩකයන් කරළියට ගෙනැවිත් තවත් වසර 20 කටවත් එරට ක්‍රිකට් සුරක්ෂිත කරන්නට ක්‍රියා කර තිබියදීත් අප බලන් සිටිනුයේ කුසල් මෙන්ඩිස් වැනි යලට මහට පණහක් හැටක් ගසන නිල් ටීෂර්ට් ඇඳගත් පච්ච කොටා,රැවුල් වවාගත් කොල්ලන් සෙට් එකක් කණ්ඩායම ගොඩ දානකම්ය.
චරිත් අසලංක ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් නඩය පාකිස්තානයේදී එක්දින තරගාවලිය මේ වනවිට කුල්ල කුජීත වන්නට පරාජයවී හමාරය. තරගයක් පරදින සෑම මොහොතකම වැරදි හදාගන්නවා පුන පුනා කියමින් පුරසාරම් දොඩන කණ්ඩායමේ නායකත්වය සුවහසක් ක්‍රිකට්වලට ආදරය කරන ලෝලීන්ට කොකා පෙන්වමින් රඟපාන අයුරු නැවත නැවතත් පෙනී යන්නේ 96 ලෝක කුසලානයක් දිනා ගැනීමට අප්‍රතිහත ධෛර්යකින් ක්‍රීඩා කළ අර්ජුන රණතුංග ප්‍රමුඛ සිංහයන්ට අගෞරව කිරීමක්ය. එපමණක් නොව ඔවුන් මේ කාබාසිනියා කරනුයේ රටක අභිමානයක්ය.
පාකිස්තානය සමග පැවැත්වූ පළමු එක්දින තරගය පරාජයෙන් පසු වැඩේ වැරදෙන්නට යන බවට වැටහුණු නායකයා ඇතුළු නඩය ආරක්ෂාව මදි යැයි කියමින් ඇඳ යටට රිංගා යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නැයි ළදරුවන් සේ මොරදුන්නේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන වගකීම තුට්ටුවකටවත් මායිම් නොකරය. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඍජු ස්ථාවරය මත වසර දෙකක තහනමට බියේ යළි අදහස වෙනස්කර ගත් ක්‍රීඩකයෝ දෙවැනි තරගයටත් මුහුණ දුන්නේ කිසිදු විශ්වාසයකින් නොවන බව ඔවුන්ගේ ක්‍රීඩා කළ විලාසය ප්‍රදර්ශනය කළේය.
පැතුම්, වනිඳු පමණක් යම්තාක් දුරට සාර්ථක වුවත් එය ගඟට කැපූ ඉනිමෙන් අපතේ ගියේ අනිකුත් ක්‍රීඩකයන්ගේ සහයෝගය අවශ්‍ය මොහොතේ කණ්ඩායමට නොලැබී යෑමෙනි. කුමන හෝ වෙලාවක මැද සාර්ථක පිතිකරු සම්බන්ධතාවක් නොලැබීම මහත් කනගාටුවකි.
චරිත් අසලංක තෙවැනි තරගයේ කටු ඔටුන්න භාරදී ඉක්මනටම මාරුවී ගියේ එම තරගයේ පරාජයත් තමන්ට අත්විඳීමට සිදුවීම සහතිකයෙන්ම සිදුවන බැවිණි. තුන්වැනි තරගයේදී ද කණ්ඩායම නැවතත් ඉතා අසාර්ථක විය.
රටක් වෙනුවෙන් ක්‍රිකට් ගහද්දී කණ්ඩායම් හැඟීමෙන් අභීතව තරග ජයග්‍රහණය කරා යා යුතුව තිබුණත් තම තමන්ගේ රැකීමට ක්‍රීඩා නොකිරීම දකින්නට ලැබීම ඉතා ලැජ්ජාශීලීය. තරගයක් ජයග්‍රහණය කිරීමට ක්‍රීඩකයන්ට පුහුණුකරුවන්ට ලක්ෂ ගණනින් කෝටි ගණනින් මුදල් වැය කරන්නේ ලොව පුරා සිටින සමස්ත ක්‍රිකට් බොක්කෙන්ම බලන ලෝලීන්ට සාධාරණය කිරීමටය. කටින් කෙතරම් කයිවාරු ගැහුවත් පිටියේ හැසිරෙන්නේ ළදරුවන් සේ නම් ක්‍රිකට් අනාගතය කෙසේ දැයි කාටනම් කිව හැකිද?
ලංකාවේ දී දඟ පන්දුවට ගැළපෙන කුඹුරු වැනි තණතීරු සකසමින් ක්‍රීඩා කරන අපේ ක්‍රීඩකයන් විදෙස් රටවලට ගිය පසු අන්ද මන්දවී දණින් වැටී තරග පරාජය වන හැටි මෑතක සිට අපට නම් දැන් හොඳට හුරුපුරුදුය.
2021 න් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විදෙස් රටවලදී ක්‍රීඩාකිරීම, දුර්වල රටවල් අතරට පත්වීම කෙතරම් අභාග්‍යයක්ද?
ගෙවුණු වසර 04ක කාලයේදී ශ්‍රී ලංකාව විදෙස් රටවලදී එක්දින තරග 25කට ක්‍රීඩාකර ඇති අතර ඉන් ජයගෙන ඇත්තේ තරග 5ක් පමණක් වීම මෙම අභාග්‍යයේ තරම පෙන්නුම් කරයි.
එහිදී තරග හතරෙන් තුනක්ම ජයගෙන ඇත්තේ සිම්බාබ්බේ කණ්ඩායම සහ බංග්ලාදේශය වැනි ලිලිපුට්ටන්ටය. තරග 19ක්ම විදෙස් රටවලදී ශ්‍රී ලංකාව පරාජයවීම මෙරට ක්‍රිකට් අනාගතය යළි යළිත් කොතැන වේදැයි තුෂ්නිම්භූතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට නම් සිතා ගන්නටවත් නොහැකි කාරණාවකි. අපේ ක්‍රිකට් දැන් ඇත්තේ මෑතකදී කාන්තා ලෝක කුසලානය දිනූ ඉන්දීය කාන්තා ක්‍රිකට්වලටද පහළින් විය හැකි යැයි කෙනෙක් කීවද එයට අප උරණ නොවිය යුතුය.
සුසිල් ජයකොඩි
Saru FM Media









