සංවර්ධනයෙන් පිරිපුන් අනාගතයක් ගොඩනැංවීමට මේ අවස්ථාවේ අපි අධිෂ්ඨාන කර ගනිමු – ජනපති

0
25


අසල්වැසියන් ලෙසත්, හවුල්කරුවන් ලෙසත්, ඓතිහාසික මිතුරන් ලෙසත්, එක්ව, සංවර්ධනයෙන් පිරිපුන් අනාගතයක් ගොඩනැංවීමට මේ අවස්ථාවේ අපි අධිෂ්ඨාන කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දු ලංකා ඒකාබද්ධ හමුවට සහභාගී වෙමින් ජනාධිපති කාර්යාලයේදී අද (05) පැවසුවා.

දෙරට නායකයන්ගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවැත්වුණා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

අතිගරු අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමනි, අතිගරු අග්‍රාමාත්‍ය ආචාර්‌ය හරිනි අමරසූරිය මැතිනියනි, ගරු අමාත්‍යවරුනි, සම්භාවනීය නියෝජිතවරුනි, නෝනාවරුනි, මහත්වරුනි,

 ජනමාධ්‍ය නියෝජනය කරන මිත්‍රවරුනි,

 ආයුබෝවන්, වනක්කම්, නමස්තේ, සුබ උදෑසනක්!

 අපගේ රජය පිහිටුවීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා ලෙස අතිගරු ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා සහ සම්භාවනීය දූත පිරිස මම උණුසුම් ලෙස පිළිගන්නවා.

සාම්ප්‍රදායික නොවන දේශපාලන පසුබිමකින් පැමිණ, සිය රට, දියුණු, නව ලෝකයක් කරා ගමන් කිරීමට බාධාවක්ව පවතින දේශපාලන සංස්කෘතිය සහ අගතීන් වෙනස්කරන බවට ජනතාව සමග ඇතිකර ගත් සම්මුතියකින් බලයට පැමිණි ගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා විසින් ඉන්දියාවේ සිදු කරන ලද  දේශපාලන පරිවර්තනයට සමාන අපේක්ෂාවන්ගෙන් යුතුව බලය අත්පත් කරගත් අප මෙම සිදුවීම් අගය කිරීම, ඓතිහාසික කටයුත්තක් ලෙස මා සලකනවා.

 මෙම සංචාරය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අනාදිමත් කාලයක සිට පවත්වා ගෙන එන සබඳතාවල සමීපත්වය සහ මිත්‍රශීලීබව පිළිබිඹු කරනවා. කිලෝමීටර 50 කට වඩා අඩු පටු සාගර තීරයකින් වෙන්ව ඇති ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය මෙම සමීපත්වයටත් වඩා බෙහෙවින් සමීප බව කිව යුතුමයි.

 විවිධත්වයේ දේශය වන ඉන්දියාව, ඉතිහාසයේ සිටම ලෝක සංස්කෘතිය සහ ආධ්‍යාත්මික උරුමයන් සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබාදී තිබෙනවා. එය අද දවසේ ගෝලීය වේදිකාවේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන බව සිහිපත් කරනවා.

 ඉන්දියාව බැබලෙන ආකාරයත්, නැඟී සිටින ආකාරයත් අපි දැක තිබෙනවා. කලාපීය බලවතෙකු ලෙස පමණක් නොව ලෝක බලවතෙකු ලෙසත් ඉන්දියාව ස්ථානගතව ඇති ආකාරය සම්බන්ධයෙන් අපි අත්පොළසන් දෙනවා. අපගේ ඒ අත්පොළසන්දීම අවංක වූවක් බවත් සඳහන් කළ යුතුයි. ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාව ද විශ්වාස කරන්නේ දකුණු ආසියාවේ නැගිටීම, දකුණු ආසියාවටම බැබලියහැකි, එක්ව ළඟා කර ගත යුතු ඉලක්කයක් බවයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සිය භූගෝලීය සමීපත්වයට වඩා වැඩි යමක් බෙදා – හදා ගන්නවා. අප වසර දෙදහස් පන්සීයකට වැඩි කාලයක් පුරා දිවෙන ගැඹුරු ඓතිහාසික, ආගමික සහ සංස්කෘතික සබඳතාඇති අසල්වැසියන්.

කාලයේ පරීක්ෂාව සමත්ව ඇති අපගේ සම්බන්ධතාව ගොඩනැඟී ඇත්තේ පොදු වටිනාකම්,අන්‍යෝන්‍ය ගෞරවය සහ පොදු අභිලාෂයන් මතයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තම රටවල විවිධත්වය හා ගතිකත්වය බෙදාගනිමින් ශිෂ්ටාචාරික හවුල්කරුවන් ලෙස ඉතිහාසය, භාෂාව, ආගම, ආචාරධර්ම, කලාව, සංස්කෘතිය, ගෘහ නිර්මාණ ශිල්පය ආදී සෑම ක්ෂේත්‍රයකම සමීපතමයින් බවට පත්ව තිබෙනවා.

ආසන්නතම, අත් නොහැර සිටින මිත්‍රත්වය සම්බන්ධයෙන් අපට සිහිපත්වන උදාහරණයක් වන්නේ 1996 වසරේ ලෝක කුසලාන තරගාවලියේ දී, ආරක්ෂාව සම්බන්ධ කරුණක් මත කණ්ඩායම් දෙකක් අප රටේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී ඉන්දියාව ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස ප්‍රදර්ශන තරගයකටසහභාගීව දැක්වූ මිත්‍රත්වයයි. ඒ සම්බන්ධයෙන් අපගේ ප්‍රණාමය නැවතත් පළ කරන්නට කැමැතියි.

ශ්‍රී ලංකාව ජාතික අභිලාෂයන් මුල් තැන තබාගෙන සාමය හා ජාතීන්ගේ ස්වෛරීභාවය ප්‍රවර්ධනය කරමින් හසුරුවන විදේශ ප්‍රතිපත්තිය අපගේ මාර්ග සිතියම වෙනවා.මෙයට සුළු වේලාවකට පෙර, අගමැති මෝදි මැතිතුමා සහ අපගේ නියෝජිත පිරිස් ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here