‘සංචාරක කර්මාන්තය සංස්කෘතිය, වටිනාකම්, ප්‍රතිපත්ති, ජාත්‍යන්තර ආකර්ෂණය සහ විශ්වාසය මඟින් ලෝකයට බලපෑම් කළ හැකි මෙවලමක්, ‘Davos හි ගෝලීය සංසදය අමතමින් අගමැති පවසයි… – Saru News | සිංහල

0
5

ලෝක ආර්ථික සංසදය (World Economic Forum) සමගාමීව 2026 ජනවාරි 20 වන දින Piz Buin Davos හි Euronews මධ්‍යස්ථානයේ පැවති “Tourism as Soft Power and Diplomatic Capital” යන තේමාව යටතේ සංවිධානය කළ සංවාදයකට අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වූවාය.

සංචාරක ප්‍රවේශය සහ ජනතාව අතර සම්බන්ධතා ගොඩනැගීම මඟින් ජාත්‍යන්තර විශ්වාසය, සංස්කෘතික හුවමාරුව සහ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කරගත හැකි ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීම මෙම සංවාදයේ ප්‍රධාන අරමුණ විය.

මෙම සාකච්ඡාවට තුර්කි රාජ්‍ය සංවිධානයේ මහලේකම් කුබාන් ඔමරලියෙව් (Kuban Omiraliyev) සහ සවුදි අරාබියේ Aseer Investment සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි (CEO) Meshari Alnahar එක් වූහ.

නිරන්තර අර්බුදකාරී තත්වයන්ට මුහුණ දෙන ලෝකයක බලාපොරොත්තුව, නැවත ගොඩ නැගීම සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ කතා කිරීමේ දී ශ්‍රී ලංකාව කදිම උදාහරණයක් බවත්, දේශගුණික විපර්යාස, භූ-දේශපාලනික අස්ථාවරතා සහ ආර්ථික අස්ථාවරතා යන වේගයෙන් වෙනස් වන ගෝලීය රටාවන් මධ්‍යයේ සංචාරක කර්මාන්තය සුවිශේෂී සහ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත් අගමැති ගෝලීය ප්‍රවණතා පිළිබඳ අදහස් දක්වමින් අවධාරණය කළාය. සංචාරක ව්‍යාපාරය ආර්ථික ක්ෂේත්‍රයක් ලෙස පමණක් නොව, ජීවනෝපායන් ආරක්ෂා කරන, සමාජීය ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරන සහ ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කරන වැදගත් රාජ්‍ය තාන්ත්‍රික මෙවලමක් බව ද ඇය තවදුරටත් සඳහන් කළාය.

ශ්‍රී ලංකාව මෑත කාලයේදී මුහුණ දුන් අත්දැකීම් සඳහන් කරමින්, දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ බලපෑම් ඇතුළු විවිධ අර්බුද තත්වයන් මධ්‍යයේ වුවද රටේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ලෙස නැවත ගොඩනැගීමට හැකි වූ ආකාරය පිළිබඳව අගමැති පැහැදිලි කළාය.

විනිවිදභාවයෙන් යුතුව අර්බුද කළමනාකරණය කිරීම සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ උපායමාර්ගිකව සම්බන්ධ වීම හරහා සංචාරකයින්ගේ විශ්වාසය පවත්වා ගැනීමට හැකි වූ බවත්, එමඟින් අභියෝගාත්මක තත්වයන් යටතේ පවා වාර්තාගත සංචාරක පැමිණීම් වාර්තා කිරීමට හැකි වූ බවත් ඇය අවධාරණය කළාය.

දේශගුණික මූල්‍යකරණය, ඩිජිටල් පරිවර්තනය, ස්ත්‍රී–පුරුෂ සමානාත්මතාවය සහ ප්‍රමිතියකින් යුත්, දීර්ඝකාලීනව තිරසාර සංචාරක කර්මාන්තයක් ගොඩනැගීමේ වැදගත්කමද අගමැති මෙහිදී අවධාරණය කළාය. සංචාරක ව්‍යාපාරය ලොව පුරා මිලියන ගණනක රැකියා අවස්ථා සඳහා මං විවර කරන බවත්, විශේෂයෙන්ම කාන්තාවන් සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා සාධාරණ හා සමාන අවස්ථා සහතික කිරීම සඳහා සියල්ල ඇතුළත් ප්‍රතිපත්ති හඳුන්වා දීම අත්‍යවශ්‍ය බවත් ඇය තවදුරටත් පෙන්වා දුන්නාය.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here