ශානි ඇතුළු සී.අයි.ඩී. 3කගේ අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර

0
1

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්‍ෂකවරුන් වන එච්. ඩී. එම්. ප්‍රේමතිලක හා සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් තුන විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08දා) අවසර දුන්නේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ කරුණු දැක්වීම් සලකා බැලූ මහින්ද සමයවර්ධන, යෝෂිත රාජකරුණා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල එම අවසරය ලබා දුන්හ. ඒ අනුව ලිඛිත විරෝධතා ලබන ජනවාරි 12 වැනිදා හෝ ඊට පෙරත් ප්‍රතිවිරෝධතා පෙබරවාරි 12 වැනිදා හෝ ඊට පෙරත් සිය අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට අදාළ පාර්ශ්වවලට නියෝග කළ විනිසුරු මඬුල්ල එකී පෙත්සම් සම්බන්ධයෙන් විවාදය ලබන මැයි 14වැනිදා ආරම්භ කිරීමට දින නියම කළේය.

2020 වසරේදී කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තමන් අත්අඩංගුවට ගෙන දිගින් දිගටම රඳවා තබා ගැනීම හා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරන ලෙසත් එකී ක්‍රියාවට වගඋත්තරකරුවන්ගෙන් රුපියල් ලක්‍ෂ තිහක වන්දියක් අයකර දෙන ලෙසත් 2020 වසරේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටියදී නීතිඥ ගෞරි සංගරි තවරාසා මහත්මිය මගින් ගොනුකර තිබූ එම පෙත්සම මගින් ශානි අබේසේකර මහතා ඉල්ලා තිබිණි.

එම පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩී. ජේ. නිශාන්ත, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් හා නීතිපතිවරයා නම් කොට තිබිණි.

ගෞරි සංගරි නීතිඥ සමාගමේ නීතිඥ ධර්මජා ධර්මරාජා මහත්මියගේ උපදෙස් පරිදි නීතිඥ නයන්ත විජේසුන්දර, හිරන්‍යා දමුණුපොල, නීතිඥ ශානිකා හපුආරච්චි මෙනෙවිය යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා පෙත්සම්කාර ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටියහ.

නීතිඥ නුවන් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂොහාන් ද සිල්වා මහතාත් නීතිඥ ශ්‍යාමලී අතුකෝරාළ මහත්මියගේ උපදෙස් පරිදි නීතිඥ සහගන් තිලකරත්න මහතා සමග නීතිඥ හෆිල් පාරිස් මහතාත් සෙසු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ශනිල් කුලරත්න මහතා නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

තම අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු අනුව එකී අත්අඩංගුවට ගැනීම් හා රඳවා තබා ගැනීම් මගින් බැලූ බැල්මට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) සහ 13 (1) යන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කළ විනිසුරු මඬුල්ල එකී පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේය.
ඒ. ජේ. ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here