ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට ශක්තිමත් වේදිකාවක්

0
23


ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තය ගෝලීය මට්ටමින් තවත් වර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලාංකික අපනයනකරුවන් හා විදේශයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල නිලධාරීන් ඇතුළු 175 කටවැඩි පිරිසක් සම්බන්ධ කරවමින් මාර්ගගත සමුළුවක් 2025 අප්‍රේල් 7 වැනි දින සාර්ථකව පැවැත්වී තිබෙනවා.

2025 ජනවාරි 27 වැනි දින පැවති අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ (EDCM) තීරණ අනුව ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ උපදෙස් මත මෙම සමුළුව සංවිධානය කළා.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශය,කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) එක්වීමෙන්.

විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැති මෙම සමුළුව සදහා ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල නිලධාරීන්, අපනයන ව්‍යාපාරිකයින්, වෙළඳ සංගම්, නිෂ්පාදන සංගම්, සහ ප්‍රමුඛ අපනයන සමාගම් නියෝජිතයන් එක්වී සිටියා.

මෙහි ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට අපගේ තානාපතිවරුන් හා දූත මණ්ඩල නිලධාරීන් සමඟ සෘජු සංවාදයක නිරත වීමට, වෙළඳපොළ අවස්ථා විවෘත කිරීමේ, අපනයන කටයුතු ඉදිරියට ගෙන යාමට ඇති බාධක සහ ගැටළු සාකච්ඡා කිරීමේ සහ අපනයන තරඟකාරිත්වය වැඩිදියුණු කිරීම සඳහා යෝජනා ලබා ගැනීමේ අවස්ථාව සලසීමයි.

විශේෂ අවධානය යොමු කරන ලද්දේ එක්සත් ජනපදය විසින් ක්‍රියාත්මක කළ නව තීරුබදු නීති රීති පිළිබඳව ශ්‍රී ලාංකික අපනයනකරුවන්ගේ කරුණු හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වන අවස්ථාවටයි.

ඉලක්ක මත පදනම් වූ විශ්ලේෂණය සහ රටේ විභවය නියෝජිතයන් අතර බෙදා ගන්නා ලද අතර මෙම සමළුවේ කාර්ය සාධනය කාර්තුමය පදනම මත ඇගයීමට ලක් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම සමුළුව සඳහා සහභාගී වූ ආරාධිතයන් අතර විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරජා මහත්මිය, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, විදේශ ශ්‍රී ලංකා තානාපතිවරුන්, දූත මණ්ඩල නිලධාරීන් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ විධායක නිලධාරීන් ඇතුළත් වුණා.

අපනයන ක්ෂේත්‍රය නියෝජනය කරමින්, SLASSCOM හි අධ්‍යක්ෂ ශෙහාන් සෙල්වනයාගම මහතා, SLEMEA අධ්‍යක්ෂ ගාමිණි රණසිංහ මහතා, ශ්‍රී ලංකා ආහාර සැකසුම් සංගමයේ හිටපු සභාපති ධම්මික ගුණසේකර මහතා, කුළුබඩු සංගමයේ භාණ්ඩාගාරික P.L. රාජ් මහතා, මුහුදු ආහාර අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති දිලාන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අතර තම අපනයන ක්ෂේත්‍රය පිළිබදව ද ඉදිරිපත් කිරීම් කළා.

මෙම මාර්ගගතසමුළුව ශ්‍රී ලාංකික අපනයනකරුවන් හා විදේශ දූත මණ්ඩල නිලධාරීන් අතර සෘජු සබඳතා ඇති කිරීමට, ගැටළු විසඳා ගැනීමට හා නව වෙළඳ අවස්ථා සොයා ගැනීමට වටිනා වේදිකාවක් වු අතර . අපනයන ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින් මෙම සංවාදය අඛණ්ඩව පවත්වාගෙන යාමට ද මෙහිදී එකඟ වී තිබෙනවා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here