ශ්‍රී ලංකා – වෙනිසියුලානු විදේශ ඇමතිවරු අතර දුරකථන සංවාදයක්

0
6

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, වෙනිසුවෙලා විදේශ කටයුතු අමාත්‍ය ඊවන් ගිල් පින්ටො මහතා සමග දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

ඊයේ (23) මෙම දුරකථන සංවාදය පැවැත්වූ බව X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින් අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, විදේශ අමාත්‍යවරුන් දෙදෙනා අතර එහිදී සාකච්ඡා කළ කරුණු පිළිබඳව එම X සටහනේ වැඩිදුර විස්තර සඳහන් කර නොමැත.

වෙනිසුවෙලා තුළ මෑත කාලීනව උද්ගතව ඇති දේශපාලන සහ ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර අවධානය වැඩිව ඇති පසුබිමක මෙම දුරකථන සංවාදය පැවැත්වීම විශේෂත්වයකි.

මෙම පසුබිම තුළ, වෙනිසුවෙලාහි තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන බව පසුගිය ජනවාරි 05 වන දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබුණි.

එම නිවේදනයෙන්, වෙනිසුවෙලාහි සිදුවීම් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්, ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව බලය යෙදවීම තහනම් කිරීම, මැදිහත් නොවීම, ජාත්‍යන්තර ආරවුල් සාමකාමීව විසඳා ගැනීම සහ රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවට ගරු කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාව අවධාරණය කර තිබුණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here