ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අද දින ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයකින් පසුව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ තනූජා ආරියරත්නව එහි සේවකයින් විසින් ආයතන පරිශ්‍රයෙන් ‘හූ’ කියමින් පිටත් කර යවා තිබෙනවා.
ඊට හේතුවී ඇති බව කියන සිද්ධිය මෙසේ ය.
රූපවාහිනි සංස්ථාවේ දැනට සේවය කරනු ලබන අධ්‍යක්ෂ ජනරාල්වරයා වන්නේ මනෝජ නදීෂන අමරසිංහ ය.
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ තනූජා ආරියරත්න ඔහු විසින් ආයතනය වෙත හඳුන්වා දුන් ඔහුගේ සමීපතම හිතවතියකි.
කෙසේවෙතත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය දේශපාලන බලය අතට ගෙන කටයුතු කිරීමත්, අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ බලය සියතට ගෙන කටයුතු කිරීමත් සේවකයන්ට ඉතාම නින්දිත අයුරින් සැළකීමත්, ආයතනයට නොගැලපෙන ආකාරයේ තීන්දු තීරණ ගැනීමත් මත සේවකයන් විසින් ඇයව ඉවත් කරන අවස්ථා ගණනාවකදී පාලනාධිකාරියෙන් ඉල්ලා තිබුණා.
එසේ තිබියදී පසුගියදා ආයතනයට ලැබී තිබූ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් චීනයේ දී පුහුණුවක් ලබාදෙන විදේශ සංචාරයකට ආයතනයේ විගණන නිලධාරියාව යවා තිබුණේ ද මේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් වන අතර මේ අනුව අද දිනයේදී ආයතනයේ අධ්‍යක්ෂ (පරිපාලන) නිලකාන්ති ඇතුළු පරිපාල අංශ සේවකයන් රූපවාහිනී සභාපති ගිහාන් ද සිල්වා හමුවී නියෝජ්‍යය අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සමඟ සේවය කළ නොහැකි බවත් ඇය ඉවත් කරන ලෙසත් ඉල්ලා ඇත.
නමුත් සභාපතිවරයාගේ ඊට නිසි ප්‍රතිචාරයක් ලැබී නැත.
අනතුරුව රූපවාහිනී සේවක පිරිසක් සභාපතිවරයාගේ කාමරය වටලා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කරන ලෙස ඉල්ලා ඇත.
සභාපතිවරයා එහිදී පවසා ඇත්තේ තව සතියකින් පමණ පසුව ඇයව ඉවත් කිරීමට කටයුතු කරමු යන්නයි.
ඊට එරෙහි වූ සේවකයින්ගේ දැන්වීම මත එහි පැමිණි ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි විසින් සභාපතිවරයා වෙත දන්වා ඇත්තේ අදාළ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වහාම ඉවත් කරන ලෙසයි.
මේ අනුව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ නියෝජ්‍යය අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ආයතන පරිශ්‍රයෙන් පිටත්ව යනතුරු එහි සේවකයන් හූ කියා විරෝධය පා තිබුණා.
Saru FM Media