ශ්‍රී ලංකා යෞවනියන්ට තරගාවලි ජයක්

0
5

ලිමන්සා තිලකරත්නගේ සහ අසිනි තලගුණේ ගේ දක්‍ෂ පන්දු යැවීමත්, ආරම්භක පිතිකාරිනියන් දෙදෙනා වන සංජනා කාවින්දි සහ විමෝක්ෂා බාලසූරිය ආරම්භක කඩුල්ල සඳහා ගොඩනඟන ලද ලකුණු 49ක සබඳතාවත් හේතුවෙන් සංචාරක ඔස්ටේ්‍රලියානු 19න් පහළ කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා යෞවනියන් අතර තරග 5කින් සමන්විත විස්සයි – 20 තරගාවලියේ තෙවැනි තරගයෙන්ද කඩුලු 6ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා යෞවනියන් සමත්වූවාය.

ඒ අනුව තරගාවලියේ තරග 2ක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා යෞවනියන්ට හැකියාව ලැබිණි.

පෙරේදා (24 දා) රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයට කාලගුණය හරස්වීම හේතුවෙන් පන්දු වාර 16ක තරගයක් ලෙස ක්‍රියාත්මක කිරීමට සිදුවිය. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් ලබාගැනීමට හැකියාව ලැබුණේ පන්දු වාර 16 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 100ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යෞවනියෝ පන්දු වාර 15යි පන්දු 1ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 101ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.

ඔස්ටේ්‍රලියානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී එමිලි පවෙල් ලකුණු 32ක්, ලුසී ෆින් ලකුණු 31ක් සහ ඉවා බයිඩ් ලකුණු 12ක් ලැබීය.

පන්දු යැවීමේදී ලිමන්සා තිලකරත්න ලකුණු 20කට කඩුලු 2ක් සහ අසිනි තලගුණේ ලකුණු 25කට කඩුලු 2ක් බිඳහෙළීය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී සංජනා කාවින්දි ලකුණු 36ක්, විමෝක්ෂා බාලසූරිය ලකුණු 25ක් සහ ශෂිනි ගිම්හානි නොදැවී ලකුණු 17ක් ලැබීය.

පන්දු යැවීමේදී ලිලී හැමිල්ටන් ලකුණු 16කට කඩුලු 2ක් දවාලීය.

සිසිර ඉන්ද්‍රජිත්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here