ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නියුතුව සිටින ඔස්ටේ්‍රලියානු අවුරුදු 19 න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඊයේ (30 දා) පැවැති පස්වැනි සහ අවසන් පන්දුවාර විස්සයි-20 තරගයෙන් ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම තරගාවලිය 5-0 ක් වශයෙන් පූර්ණ ජයග්‍රහණයක් වාර්තා කළේය.
රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 ක් දැවී රැස් කරගත් ලකුණු 114 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා බාලිකාවෝ ඉලක්කය පන්දු 15 ක් ඉතිරිව තිබියදී සපුරා ගත්තේ කඩුලු 4 ක් පමණක් දැවී ගොස් තිබියදීය.
මෙම ජයග්‍රහණයත් සමග පන්දුවාර විස්සයි-20 තරගාවලිය 5-0 ක් වශයෙන්ද එක් තරගයකින් සමන්විත යොවුන් එක්දින තරගය 1-0 ක් වශයෙන් ද වූ සමස්ත තරගාවලිය යටතේ පැවැති තරග 6 ම ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.
මෙම ලකුණු හඹා යෑමේදී තරගාවලියේ මෙතෙක් සාර්ථකම පිතිකාරිනිය බවට පත්ව සිටින සංජනා කාවින්දි දෙවැනි පන්දුවේදීම ලකුණු නොලබා දැවී ගිය නමුත් විමෝක්ෂා බාලසූරියට (12) එක් වුණු හිරුණි හංසිකා (16) පළමු කඩුල්ලට ලකුණු 28 ක් එක් කළහ.
ඔවුන් දෙදෙනාම ලකුණු 42 ක්ව තිබියදී දැවී ගිය නමුත් පිටියට එක් වුණු මනුදි නානායක්කාර පන්දු 35 කදී හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 34 ක් ද ශෂිනි ගිම්හානි පන්දු 16 කදී ලකුණු 19 ක්ද ලබා ශ්‍රී ලංකා ජයග්‍රහණය සනාථ වන තෙක්ම කඩුලු ආරක්ෂා කර ගත්හ.
ඔස්ට්‍රේලියානු බාලිකා කණ්ඩායම වෙනුවෙන් එමිලි පවෙල් (33) සහ ලුසී ෆින් (35) පමණක් ලකුණු 30 සීමාව ඉක්මවා ගිය පිතිකාරිනියෝ බවට පත්වූහ. පන්දු යැවීමේදී කැපී පෙනුණු චමරිද ප්‍රබෝධා පන්දුවාර 4 කදී ලකුණු 16 කට කඩුලු 3ක් දවා ගනිද්දී අසේනි තලගුනේ සහ ලිමන්සා තිලකරත්න එක් කඩුල්ල බැගින් දවා ප්‍රතිවාදීන්ව පීඩනයට ලක් කළහ.
ඔස්ටේ්‍රලියානු අවුරුදු 19 න් පහළ බාලිකා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 114 යි – (එමිල් පවෙල් 33, ලුසී ෆින් 35, ඉන්දිරා පනෙලි 10★, චමෝදි ප්‍රබෝධා 16/3, අසේනි තලගුනේ 14/1, ලිමන්සා තිලකරත්න 10/1)

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාලිකා කණ්ඩායම පන්දුවාර 17.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 115 යි – (මනුදි නානායක්කාර 34★, ශෂිනි
ගිම්හානි 19★, නෙතඟි ඉසුරාංජලී 14, හිරුණි හංසිකා 16, විමෝක්ෂා බාලසූරිය 12, ශිලෝ ජුලියන් 20/2, ලුසී ෆින් 15/1, ඉන්දිරා පනෙලි 14/1)
සංස්කරණය – සුසිල් ජයකොඩි
Saru FM Media