ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව තහවුරුයි – ක්‍රීඩකයන් තරගාවලියට මුහුණ දෙනවා – ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

0
11

ජනපති අනුර කුමාරගෙත් විශේෂ අවධානය

ක්‍රිකට් සමග සිටින ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන ශ්‍රී ලංකාවට ස්තුතිය – ෂොයිබ් අක්තාර්

මොහ්සින් නක්විත් තුති පුදයි

හමුදාව සහ පැරාමිලිටර් භටයන් ආරක්‍ෂාවට යොදවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය

දෙවැනි එක් දින තරගය අද

තරගාවලි දෙකක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට පාකිස්තානයේ රැඳී සිටින අතර එම තරගාවලි දෙකේ පළමු තරගාවලිය ලෙස ආරම්භ වූ එක්දින තරගාවලියේ පළමු තරගය පැවැත්වූයේ පසුගිය 11 වැනිදා රාවල්පින්ඩිහිදීය. තරගය ආරම්භ වීමට ප්‍රථම රාවල්පින්ඩි ක්‍රීඩාංගණයට කිලෝමීටර් 17 ක පමණ දුරකින් ඉස්ලාමාබාද්හි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබුණි. එහිදී පුද්ගලයන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වී තිබේ. එම සිදුවීමත් සමග පාකිස්තානය තුළ ආරක්ෂාව පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවීමට ඇති ඉඩකඩ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් 16 දෙනෙක් පමණ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බව පුවතක් නිර්මාණය වී තිබුණි.

එම පුවත පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනවිට නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ පාකිස්තානයේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ කිහිපදෙනකු ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් නිසා සිය රට බලා යෑමට ඉල්ලා ඇති බවය. මෙහිදී වහාම ක්‍රියාත්මක වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමග සම්බන්ධවී ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සමග සාකච්ඡාකර තිබේ.

එහිදී ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව නිසි ලෙස සලසන බවටත් කිසිදු ප්‍රශ්නයක් ඇති නොවීමට වගබලා ගන්නා බවට සහතික වීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ට, කාර්ය මණ්ඩලයට සහ කණ්ඩායම් කළමනාකාරිත්වයට උපදෙස් ලබා දී තිබේ.

තවද ක්‍රීඩකයකු හෝ සාමාජිකයකු යළි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කළහොත් ශ්‍රී ලංකා සංචාරය බාධාවකින් තොරව කරගෙන යෑම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම ආදේශකයකු යවන බවත් ය. තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝග නොතකා නැවත පැමිණෙන ක්‍රීඩකයකුට හෝ සාමාජිකයකුට එරෙහිව විධිමත් ක්‍රියාමාර්ග ගන්නා බවය.

තවද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා ද පොරොන්දුවක් දී තිබේ. එහිදී ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි සිල්වා සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසූරිය සමග ද කතා කළ ජනපතිවරයා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කරන බව පවසා ඇත. ඒ අනුව සිදුකළ ක්‍රියාවලිය අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පාකිස්තානයේ රැඳී සිටිමින් තරගාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට එකඟවී තිබේ.

නමුත් ඉතිරි තරග පැවැත්වීමට නියමිතව තිබූ දිනයන් සංශෝධනය කිරීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව 13 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි තරගය අද එනම් 14 වැනිදා දක්වා ද 15 වැනිදා පැවැත්වීමට තිබූ තුන් වැනි සහ අවසාන එක් දින තරගය 16 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

තවද පාකිස්තානය සමග පැවැත්වෙන සියලු තරග රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පමණක් පැවැත්වීමට ද පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

විස්සයි විස්ස තරගාවලියේ සියලුම තරග ද මේ අනුව රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තවද පාකිස්තාන සමාජ මාධ්‍ය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ශ්‍රී ලාංකිකයන්ට විශේෂ ස්තුතිය පුද කරමින් සිටිති.

ආරක්‍ෂක හේතු නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සංචාරය අතහැර දැමීමේ තීරණය වෙනස් කිරීම ගැන පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති මොහ්සින් නක්වි සහ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ෂොයිබ් අක්තාර් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ස්තුතිය පුද කර තිබේ.

නක්වි සහ අක්තාර් සිය X ගිණුමේ මේ බව සටහන් කර තිබෙන අතර මොහ්සින් නක්වි කියා සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ගත් තීරණයට කෘතඥ වන බවය.

තවද පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මෙන්ම ක්‍රිකට් සභාපතිවරයා වන මොහ්සින් නක්වි කියා සිටින්නේ ක්‍රීඩකයන්ගේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා පාකිස්තාන හමුදාව සහ පැරාමිලිටරි හමුදාව යොදවා ඇති බවයි. තරගාවලියේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවට ද දැනුම් දුන් බවයි.

තවද අක්තාර් තබා තිබෙන සටහනේ දැක්වෙන්නේ ක්‍රිකට් සමග සිටින ත්‍රස්තවාදය පරාජය කිරීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට තුති පුද කරන බවය.

සුසිල් ජයකොඩි

සංස්කරණය – සුසිල් ජයකොඩි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here