ශ්‍රී ලංකා ආර්ථිකය සුරැකීමට ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

0
2

මැදපෙරදිග කලාපයේ මේ වන විට ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු විය හැකි බලපෑම සහ එය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්ව උපකල්පනය කළ නොහැකි වුවත් සෑම ක්ෂේත්‍රයකම මතුවන නව වර්ධනයන් පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරමින් සාමුහිකව මෙම අභියෝගය ජය ගැනීමට කටයුතු කළ යුතු බවය.

ඉන්ධන සහ ගෑස් සම්බන්ධව ඉදිරියේදී මතුවිය හැකි අභියෝග සහ අවශ්‍ය තොග කළමනාකරණය කර ගැනීම පිළිබඳව මෙන්ම සංචාරක, අපනයන,ආයෝජන ආදී අංශවල ද ආහාර සුරක්ෂිතතාව සම්බන්ධව මතුවිය හැකි තත්ත්ව සහ එමගින් මෙරට උද්ධමනයට ඇති විය හැකි බලපෑමත් එය කළමනාකරණය කර ගැනීමට ගතයුතු පියවර පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කලේය.

ශ්‍රී ලංකාව මේ වන විට අත්පත්කර ගෙන තිබෙන ආර්ථික ස්ථාවරත්වයට සහ සාමාන්‍ය ජන ජීවිතයට ඇති වන බලපෑම අවම කරගනිමින් උද්ධමනය පාලනය කිරීමේ ක්‍රමවේද පිළිබඳ අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

දැනට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වුවද ඉදිරියේදී මතුවිය හැකි අවදානම හමුවේ අවශ්‍ය තොග පවත්වා ගැනීම සහ එය කළමනාකරණයත් ලෝක වෙළෙඳපොළේ සිදුවීමට නියමිත ඉන්ධන මිල උච්ඡාවචනයත් පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇත.

ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සොයා බැලුවේ මෙම තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම පිළිබඳ අවධානය යොමු කරමිනි.

ගෑස් සංචිත පවත්වාගෙන යාමේදී ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා මතුව ඇති ගැටලු සහ ඊට විසඳුම් සෙවීම පිළිබඳව මෙන්ම ඒ වෙනුවෙන් කෙටිකාලීනවඅනුගමනය කළ හැකි උපායමාර්ග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කලේය.

සූවස් ඇළ සහ  හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි ස්ථාන වසා දැමීමෙන් නාවුක ගමනාගමනයට සිදු විය හැකි බාධා හේතුවෙන් කොළඹ වරායට ඇතිවිය හැකි බලපෑම අවමව තබා ගැනීම වෙනුවෙන් දීර්ඝකාලයක් ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන නාවුක සමාගම්වල ඉල්ලීම පරිදි ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාදීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකර තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here