ඇෆ්ගනිස්ථානය තරගාවලියෙන් ඉවතට යද්දී බංග්ලාදේශය ඇතුළට
ශ්‍රී ලංකාවෙන් වාර්තා රැසක්
පන්දු වාර 19ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 137ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා අසීරු අඩියක ඇෆ්ගනිස්ථානය පසුවුවද, දුනිත් වෙල්ලාලගේ ක්‍රියාත්මක කළ 20 වන පන්දු වාරයේදී මොහොමඩ් නබී එල්ල කළ දැවැන්ත හයේ පහර 5 හේතුවෙන් ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා ඇෆ්ගනිස්ථානය රැගෙන යෑමට හැකි වුවද, කුසල් මෙන්ඩිස් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමේ අති විශිෂ්ට පිතිකරණය හේතුවෙන් 2025 ආසියානු කුසලාන විස්සයි – 20 තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරගයෙන් කඩුලු 6ක ජයක් ලබමින් සහ පළමු වටයේ තමන් මුහුණ දුන් පළමු තරග 3ම ජයගනිමින්, අපරාජිතව සුපිරි සිව්දෙනාගේ වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
පෙරේදා (18 දා) අබුඩාබි හිදී පැවැති දෙපිළටම තීරණාත්මක තරගයක් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායක රෂීඩ් ඛාන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෝ නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 168ක් ලබාගැනීමට සමත්විය. ලකුණු 169ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 171ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළේය.
එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි සිව්දෙනාගේ වටයට අපරාජිතව පැමිණි අතර, ඇෆ්ගනිස්ථානයට තරගාවලියෙන් ඉවත්වීමට ද, බංග්ලාදේශය කණ්ඩායමට ද සුපිරි සිව්දෙනාගේ වටයට පිවිසීමට අවස්ථාව සැලසුණි.
මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වාර්තා රැසක් අලුත් කිරීමට සමත් වීමද කැපී පෙණෙන සිදුවීමක් විය. ඒ අනුව ආසියානු කුසලාන තරගාවලියක පිට පිට ජයග්‍රහණය කළ 8 වන තරගය මෙය වූ අතර, මෙයට පෙර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තරග 7 බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවිය. තවද කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ 20-20 තරගවල වැඩිම අර්ධ ශතක වාර්තා කළ ක්‍රීඩකයා බවට ද පත්විය. ඔහු ඒ අනුව අර්ධ ශතක 13කට හිමිකම් කියයි.
තවද නුවන් තුෂාර ආසියානු කුසලාන 20-20 තරගාවලියක 5 වන හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත්විය. මෙම වාර්තාවේ පළමු ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවේ බුවනේෂ්වරන් කුමාර් වන අතර ඔහු ලකුණු 4කට කඩුලු 5ක් ලබා තිබේ. නුවන් තුෂාරගේ මෙම දස්කම වේග පන්දු යවන්නෙක් ලබාගත් හොඳම දෙවැනි පන්දු යැවීම ලෙසද වාර්තා පොත් අතරට එක්විය.
කෙසේ වුවද දෙපිළටම තීරණාත්මක තරගයක් වූ මෙම තරගයේ ආරම්භක පිතිකරුවන් ලෙස රහමනුල්හ් ගුරුබාස් සහ සිදිවුල්හ් අතල් පිටියට පිවිසියද ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 26කට සීමා කළ නුවන් තුෂාර ඇෆ්ගනිස්ථානයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 14ක් ලබා සිටි රහමනුල්හ් ගුරුබාස්ව පිටියෙන් ඉවත් කිරීමට සමත්විය.
අනතුරුව ඇෆ්ගනිස්ථාන ලකුණු පුවරුවට තවත් ලකුණු 6ක් එක්කාසු වනවාත් සමගම පිතිකරණයේ උසස් වීමක් ලබමින් පිටියට පිවිසි කරීම් ජනට් වද ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට නුවන් තුෂාරට හැකිවිය. ඒ වන විට ජනට් පන්දු 3කට මුහුණ දෙමින් ලකුණු 1ක් ලබා තිබිණි.
පළමු පන්දු වාර දෙකේදීම සාර්ථක වූ නුවන් තුෂාර සිය තෙවැනි පන්දු වාරය ද ක්‍රියාත්මක කරමින් ඇෆ්ගනිස්ථානයේ තෙවැනි කඩුල්ල ද පිටියෙන් ඉවත් කළ අතර, මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 40දී සිදිවුල්හ් අතල් දැවී යන විට ඔහු පෞද්ගලිකව ලකුණු 18ක් ලබා තිබිණි.
නැවතත් මුළු ලකුණු සංඛ්‍යාව 64දී දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ ඩ්‍රැවිෂ් රසෝලි ලකුණු 9කටත්, 5වන කඩුල්ල ලෙස දසුන් ශානකගේ පන්දුවක් හමුවේ අස්මතුල්හ් ඔමරසායි ලකුණු 9කටත් පිටියෙන් ඉවත්විය.
ඉන් පසුව 6 වන කඩුල්ල ලකුණු 79දීත්, 7 වන කඩුල්ල ලකුණු 114දීත් දැවී ගිය අතර, ඇෆ්ගනිස්ථාන අත්දැකීම් බහුලම පිතිකරුවකු වන මොහොමඩ් නබී අන්තයක් ආරක්‍ෂා කරගනිමින් කඩුල්ලේ රැඳී සිටියේය.
19වන පන්දු වාරයේදී නබී ගේ පිත්ත ක්‍රියාත්මක විය. මෙම පන්දු වාරය ක්‍රියාත්මක කළ දුෂ්මන්ත චමීරට එරෙහිව ලකුණු 17ක් ලබාගැනීමට සමත්වූ මොහොමඩ් නබී, අවසාන පන්දු වාරයේදී දුනිත් වෙල්ලාලගේට එරෙහිව හයේ පහර 5ක් සමගින් ලකුණු 31ක් ලබාගැනීමට සමත්වීමත් සමගම ඇෆ්ගනිස්ථාන ලකුණු පුවරුව නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 168ක් ලෙස සටහන් විණි. මොහොමඩ් නබී 8වන කඩුල්ල ලෙස දුවද්දී දැවී යද්දී ඔහු පන්දු 22කට මුහුණදෙමින් හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 60ක් ලබා තිබිණි.
නබීගේ ප්‍රවේගකාරී ඉනිම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කය තව තවත් ඈතට ඇදී ගිය අතර, ලකුණු 169ක ලකුණු අභියෝගය ජයගැනීම සඳහා ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලෙස සුපුරුදු පරිදි පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් පිටියට පිවිසියේය.
2025 ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරග දෙකේදීම අර්ධ ශතක ලැබූ පැතුම් නිස්සංකගේ පැතුම් සුන්කර දැමූ හස්මතුල්හ් ඔමරසායිගේ පන්දුවක් හමුවේ ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල ලෙස පැතුම් ලකුණු 6ක් ලබා සිටියදී ක්‍රීඩා පිටියෙන් ඉවත්විය.
අනතුරුව කුසල් හා එක්වූ කමිල් මිෂාරට ද වැඩි වේලා කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාව ලබා නොදුන් අතර, මිෂාර මොහොමඩ් නබීගේ පන්දුවක් හමුවේ ලකුණු 4කට පිටියෙන් ඉවත් විය. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 47කට කඩුලු 2ක් ලෙස සටහන්ව තිබිණි.
දෙවැනි කඩුල්ල දැවී යෑමෙන් අනතුරුව පිටියට එක්වූ කුසල් – කුසල් සුසංයෝගය තෙවැනි කඩුල්ලට ලකුණු 45ක සාර්ථක සබඳතාවක් ගොඩනැඟීමට සමත්විය.
ලකුණු පුවරුව ලකුණු 92ක් වනවාත් සමගම ශ්‍රී ලංකා කණ්ඩායමේ තෙවැනි කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරා මුජීබ් ගේ පන්දුවකින් ලකුණු 28කට පිටියෙන් ඉවත් වූ අතර ලකුණු පුවරුවට තවත් ලකුණු 27ක් එක්කාසු වනවත් සමගම නායක චරිත් අසලංක ද ලකුණු 17කට පිටියෙන් ඉවත් කිරීමට නූර් අහමඩ්ට හැකියාව ලැබිණි.
ඉන් පසුව කුසල් මෙන්ඩිස් හා එක්වූ කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා ජයග්‍රහණය තෙක්ම කඩුල්ලේ රැඳී සිටිමින් සාර්ථක පිතිහරඹයක නිරත වූ අතර, අවසානයේ කුසල් මෙන්ඩිස් පන්දු 53කට මුහුණදෙමින් හතරේ පහර 10ක් සමගින් ලකුණු 74ක්ද, කමිඳු මෙන්ඩිස් පන්දු 13කට මුහුණදෙමින් හයේ පහර 2ක් සමගින් ලකුණු 26ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටියේය.
තරගයේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් සම්මාන ලැබීය.
ලකුණු සාරාංශය
ඇෆ්ගනිස්ථානය නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 168යි.
මොහොමඩ් නබී 60, ඉබ්‍රහිම් ශද්‍රාන් 24, රශීඩ් ඛාන් 24, සිදිවුල්හ් අතල් 18, රහමනුල්හ් ගුරුබාස් 14යි.
(නුවන් තුෂාර 18/4, දසුන් ශානක 29/1, දුනිත් වෙල්ලාලගේ 49/1, දුෂ්මන්ත චමීර 50/1)
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 171යි.
කුසල් මෙන්ඩිස් 74, කුසල් පෙරේරා 28, කමිඳු මෙන්ඩිස් 26, චරිත් අසලංක 17.
(අස්මතුල්හ් ඔමරසායි 10/1, මොහොමඩ් නබී 20/1, නූර් අහමඩ් 37/1, මුජීබ් උර් රහුමාන් 42/1)
Saru FM Media