ශ්‍රී ලංකාව ලෝකය හමුවේ ඉහළට ඔසවා තැබීමට කටයුතු කරනවා

0
1

ජනාධිපති අනුර කුමාර දිසානායක ජපානයේ ශ්‍රී ලාංකික හමුවකදී කියයි
ජනපති ජපන් සංචාරයෙන්…
රාජ්‍යතාන්ත්‍රික සබඳතා සමබරව ආරක්ෂා කරගනිමින්
පළමු වතාවට අයවැයෙන් අපේක්ෂා කළ ආදායමට වඩා වැඩි
ආදායමක් මේ වසරේ උපයා ගැනීමට අප සමත් වී තිබෙනවා
නීතියේ ක්‍රියාත්මකභාවය පක්ෂ 40ක් එක කාමරයට
එකතු වීමෙන් ඔප්පු වී තිබෙනවා

පසුගිය වසර තුළ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි සමබරතාව ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

තවදුරටත් ආර්ථිකයේ සහ වෙළෙඳපොළ තුළ ජාතික සීමාවන් නොමැති ලෝකයක, රටකට තනිව ඉදිරියට යා නොහැකි අතර යහපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා තුළ ශ්‍රී ලංකාව ලෝකය හමුවේ ඉහළට ඔසවා තැබීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ හමුවකට 28දා ටෝකියෝහි ඍැද්‍යහමන්ද්‍ය ශාලාවේදී එක් වෙමිනි. ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ස්වේච්ඡා සංවිධානවල එකමුතුවෙන් සංවිධානය කර තිබූ මෙම හමුවට ජපානයේ වෙසෙන මහා සංඝරත්නය, අන්‍ය ආගමික පූජකවරු මෙන්ම වෘත්තීයවේදීහු, විශ්වවිද්‍යාල සිසුහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. මෙහිදී ඔවුන් විසින්

මතු කළ අදහස් සහ ගැටලු‍ද සාකච්ඡාවට ලක් කෙරිණි. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වන ඔබ වගේම ලංකාවේ ජීවත් වන අපේ ආණ්ඩුව හැදීමට දායකත්වය සැපයූ කිසිවෙක් තමන්ට පෞද්ගලික යමක් උපයා ගැනීමට, වරප්‍රසාදයක් ලබාගැනීමට හෝ පෞද්ගලිකව දෙයක් ලබාගැනීමේ අරමුණකින් කටයුතු කළේ නැහැ. ඒ නිසා ඔබ හැමදෙනාම දායකත්වය ලබාදුන්නේ පෞද්ගලික වුවමනාවන් ඉක්මවා ගොස් රටක් ලෙස, ජාතියක් ලෙස අපි කුමක්ද කළ යුත්තේ කියන අභිලාෂය මත පමණයි. පැවති ගමන් මග වෙනුවට නව ගමන් මගක් ඇති කරගැනීමේ අරමුණින් ඔබ කටයුතු කළා.

ජනපති අනුර ජපානයේදී බානගල නාහිමියන් බැහැදැක….
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ සිදුකළ සංචාරය අතරතුර ශ්‍රී ලාංකික හමුවේදී ජපානයේ ප්‍රථම ථෙරවාද බෞද්ධ මහ විහාරය වන “සවරා” හි ලංකා ජී විහාරයේ නිර්මාතෘ ජපානයේ ප්‍රධාන සංඝනායක හා කොළඹ අග්‍රශ්‍රාවක මහ විහාරාධිපති පූජ්‍ය බානගල උපතිස්ස නාහිමිපාණන් බැහැදුටු අවස්ථාව.

පළමු කරුණ ලෙස බිඳ වැටී තිබූ ආර්ථිකය ශක්තිමත් කරගැනීමේ අවශ්‍යතාව ඔබට තිබුණා. අද අපි සැලකිය යුතු ප්‍රමාණයකින් රටේ ආර්ථිකය ස්ථාවර කරගෙන තිබෙනවා. නමුත් අපිට තව දිගු ගමනක් යාමට තිබෙනවා. ඒ වගේම ඔබ නීතියේ විධානයේ ආධිපත්‍ය අපේක්ෂා කළා. අපි දකිනවා දියුණු වූ සෑම රටකම තිබෙන සාධකය වන්නේ නීතිය ඉදිරියේ සියලු‍ දෙනා සමාන වීමයි. නීතිමය සංකල්පය ගත්තද නීතිය ඉදිරියේ සෑම දෙනාම සමානයි. නමුත් අපේ සංකල්පය වුණේ නීතියට ළඟා විය හැකි අය ඉන්නවා, ළඟා විය නොහැකි අය ඉන්නවා කියන එකයි. බලය, ධනය විසින් මෙය නිර්මාණය කරගෙන තිබෙනවා. හැබැයි අද නීතියට ළඟා විය නොහැකි කිසිවෙක් අපේ ලංකාවේ ජීවත් වෙන්නේ නැහැ. ඒ හැම දෙනා වෙතම නීතියට ළඟා විය හැකියි.

රට ගොඩනැගීමේදී ආර්ථිකයේ ස්ථාවරභාවය, නීතියේ විධානයේ ආධිපත්‍ය ඇති කිරීම සහ වංචා දූෂණ අවම කිරීම සහ කාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් අවශ්‍යයි. අද ලංකාවේ වසර 76කට පසු දේශපාලන අධිකාරිය මහජනතාවගේ මුදල් සොරකම් නොකරන සහ නාස්ති නොකරන ආණ්ඩුවක් ගොඩනැගී තිබෙනවා. හැබැයි තවදුර යන්න තිබෙනවා. මොකද රාජ්‍ය යාන්ත්‍රණයත් මේ පරණ පුරුදුවලින් ගලවාගත යුතුයි. එය වෙනස් කිරීමේ පළමු පියවර අපි තබා තිබෙනවා. ඒ වගේම කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැගීමට අවශ්‍ය මූලික පියවර අපි තබා තිබෙනවා.

ඒ වගේම ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගැනීම ඉතා වැදගත් වෙනවා. ලෝකයේ කිසිදු රටකට තවදුරටත් හුදකලා වී ජීවත් වෙන්න බැහැ.අපි ආර්ථිකයෙන්, තාක්ෂණයෙන්, වෙළෙඳපොළෙන් එකට ගැට ගැසී තිබෙනවා. ඒ නිසා ජාතික සීමාවන් තිබුණට තවදුරටත් ආර්ථිකයේ ජාතික සීමාවන් නැහැ. වෙළෙඳපොළේ ජාතික සීමාවන් නැහැ. ඒවා සියල්ල අභිබවා ගොස් තිබෙනවා. ඒ නිසා රාජ්‍යයක් ඉදිරියට යෑම සඳහා ශක්තිමත්, ස්ථාවර, පැහැදිලි විදෙස් සබඳතා අවශ්‍යයි. මම හිතනවා පසුගිය වසර තුළ අපි සැලකිය යුතු ප්‍රමාණයකින් අපේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල තබා ගත යුතු සමබරතාවය ආරක්ෂා කරගැනීමට සමත්වී තිබෙනවා. මෙම මූලික කරුණු ස්ථාපිත කර නොගෙන රට ගොඩනගන්න බැහැ.

ඒ වගේම අපේ රටේ විවිධ ජන කණ්ඩායම් සහ ආගමිකයන් ජීවත් වෙනවා. ඔවුන්ටම අනන්‍ය වූ සංස්කෘතින් තිබෙනවා. ඒ නිසා අපේ රට ජනතාවගේ විවිධත්වයකින් පිරිණු රටක්. අපේ රට ඉදිරියට ගෙන යෑමට මෙම ජනතාව අතර සමගිය නිර්මාණය කළ යුතුයි. හැබැයි දිගු කාලයක් පුරා දේශපාලන පොරය නිසාම මෙම ජනතාව අතර විවිධ ජාතිවාදී ගැටුම්, ආගම්වාදී ගැටුම් ඇති කරමින් එකිනෙකා දුරස් කරනු ලැබුවා. භූ දේශපාලන ව්‍යාපාරය

ගොඩනැඟී තිබුණේ එවැනි ජාතිවාදී මූලාශ්‍රයන් සහ මතවාද සමගයි. ඒ නිසා ගැටුම් සහිත රටකට එකිනෙකා අතර බේදය, වෛර වැපිරූ රටකට ඉදිරියට යන්න බැහැ. එසේනම් අපේ රටේ සංස්කෘතික විවිධත්වයන්, භාෂාමය වෙනස්කම්, ආගමික වෙනස්කම් අවබෝධ කරගත් එකඟතා සහිත රාජ්‍යයක් ගොඩනැඟිය යුතුයි. මම හිතන්නේ ලංකා ඉතිහාසයේ කිසිදු ජාතිවාදී ගැටුමක් උත්සන්න නොවූ වසර තමයි මේ ගතවූ වසර. හැබැයි තවදුර යා යුතුයි. අපිට ශක්තිමත් ගොඩනැගිල්ලක් හදන්න නම් ඉතාමත් ශක්තිමත් අත්තිවාරමක් අවශ්‍යයි. නමුත් අපේ රට අත්තිවාරම බිඳුණු රටක්. අද අපි එම අත්තිවාරම දමා තිබෙනවා. ගත වූ වසර කියන්නේ අපේ රට ඉදිරියට ගොඩනැඟීම සඳහා අවශ්‍ය ශක්තිමත් අත්තිවාරම දැමූ වසරයි. දැන් අපි මේ අත්තිවාරම මත ගොඩනැගිලි ඉදිකිරීමට පටන් ගන්න ඕනෑ. මේ අත්තිවාරම මත රට

ගොඩනගන විට ආණ්ඩුවට අභියෝගයක් තිබෙනවා. රටට අභියෝගයක් තිබෙනවා.ඒ වගේම ජනතාවට අභියෝගයක් තිබෙනවා. එය අපි අවබෝධ කරගත යුතුයි. ආණ්ඩුව මුහුණ දෙන අභියෝගය වන්නේ ආදායම් උපයා ගැනීමයි. රට හමුවේ තිබෙන අභියෝගය වන්නේ භාණ්ඩ හා සේවා ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් උපයා ගැනීමයි. ඒ වගේම ජනතාවට තමන්ගේ මූලික අවශ්‍යතා ඉටු කර ගනිමින් නිදහසේ ජීවත්විය හැකි පසුබිමක් අවශ්‍යයි.

ඒ නිසා ආණ්ඩුව ආදායම් උපයා ගත යුතුයි. ලංකාවේ පළමු වතාවට අයවැය ලේඛනයෙන් අපේක්ෂා කරන ලද ආදායමට වඩා වැඩි ආදායමක් මේ වසරේ උපයා ගැනීමට අප සමත් වී තිබෙනවා. ආණ්ඩුව ආදායම් උපයාගත යුත්තේ ව්‍යාපාරවලින් නොවෙයි. ආණ්ඩුව කළ යුත්තේ එළියේ ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. ආණ්ඩුවේ කාර්යභාරය වන්නේ එම එළියේ ආර්ථිකය සකස් කරගැනීම සඳහා අවශ්‍ය වන නීතිමය සහාය සහ යටිතල පහසකම් සංවර්ධනය කිරීමයි. එළියේ ආර්ථිකය විශාල වීමත් සමඟ බදු ප්‍රතිශත අඩු වී ජනතාවට සහන හිමි වෙනවා. ඒ අනුව මෙවර අයවැය ලේඛනයෙන් අලු‍තින් කිසිදු බද්දක් හඳුන්වා නොදී සිටීමට අපි අපේක්ෂා කරනවා. ඒ වගේම ඉදිරියේදී ඇතැම් බදුවල ප්‍රතිශතය අඩු කිරීමට අපි අවධානය යොමු කර තිබෙනවා. මේ අයුරින් අපිට ආර්ථික සැලසුම් තිබෙනවා. ඒ සඳහා එළියේ විශාල ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි

එහිදී අපි සංචාරක කර්මාන්තය පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබෙනවා. වසර 2030 වන විට මිලියන 04ක සංචාරකයින් කැඳවා ගනිමින් ඩොලර් බිලියන 08කට ආර්ථිකයකට යෑමට අපි අපේක්ෂා කරනවා. ඒ සඳහා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් සංචාරක කර්මාන්තයට අවශ්‍ය පරිසරය සකස් කරදීම ආණ්ඩුව සිදු කරනවා. ඒ වගේම ලංකාව පිළිබඳ ප්‍රතිරූපය ඉහළ නැංවීම එහිදී වැදගත් වෙනවා. දැනටමත් ලංකාව ඉතා හොඳ සංචාරක ගමනාන්තයක් බවට වන වාර්තා පළ වෙනවා.

ඒ වගේම රටට අවශ්‍ය ආයෝජන මේ වන විට ලැබෙමින් තිබෙනවා. රජය වැඩිපුර ආයෝජන සිදු කළයුත්තේ මහාමාර්ග, විදුලිය, ජලය ආදි යටිතල පහසුකම් සංවර්ධනය සඳහායි. හැබැයි ආර්ථික ක්‍රියාකාරකම් ගොඩනැගිය යුත්තේ පෞද්ගලික අංශයයි. රජය සතුව විශාල තේ වතු ප්‍රමාණයක් තිබෙනවා. නම තිබුණට එම භූමියට සරිලන ලෙස ආදායම් උපයන්නේ නැහැ. ඒ නිසා අපේ වටිනාම සම්පත වූ භූමිය ඉතා හොඳින් කළමනාකරණය කරගත යුතුයි. ඒ නිසා අපි වතු හිමි රාජ්‍ය සමාගම් වෙත දැනුම් දී තිබෙනවා ඵලදායීතාවක් නැති සියලු‍ ඉඩම් ලබාදෙන්න කියලා. අපි ඔබට ආරාධනා කරනවා ඒවායේ ආයෝජනය කරන්න එන්න කියලා. අපේ කාර්යය වන්නේ ඔබට ආර්ථික අවස්ථාවන් සකස් කර දීමයි.

ඒ වගේම රැකියා උත්පාදනය වන ආර්ථිකයක් ගොඩනඟා දීම ආණ්ඩුවක වගකීමක්. අද අපි එම වගකීම ඉටු කරමින් සිටිනවා. ඒ නිසා අපි වසර කිහිපයක් වෙහෙසුණහොත් අපේ රටේ ආර්ථික වශයෙන් ඇති වී තිබෙන දුප්පත්භාවයෙන් අපිට ගොඩ ඒමට හැකියාව තිබෙනවා.

ඒ වගේම රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. එහි ප්‍රධාන කොටසක් ලෙස ඩිජිටල්කරණය අපි හඳුනාගෙන තිබෙනවා. ලබන වසර වන විට රජයත් සමඟ සිදු කරන සියලු‍ ගනුදෙනු ධබකද්‍යබැ මගින් ගෙවීමේ ක්‍රමවේදය ආරම්භ කරනවා. ඒ වගේම ටෙන්ඩර්, රේගු කටයුතු මේ සියල්ල ඩිජිටල්කරණයට ලක් කරනවා. අපිට එය සාර්ථක කරගත හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා.

අපේ රටේ නීති හදපු අයම එම නීතිවලට පටහැනිව කටයුතු කර තිබෙනවා. නීතිය තිබුණත් එය ක්‍රියාත්මක නොවන බව ඔවුන් දන්නවා. මින් ඉදිරියට අපේ පියවර වන්නේ නීතිය පමණක් ප්‍රමාණවත් නැහැ, එය ක්‍රියාත්මක වන බව තහවුරු කළ යුතුයි. දැන් එය ඔප්පු වෙමින් තිබෙනවා. අද පක්ෂ 40ක් එක කාමරයට එකතු වෙන්න තරම් එය ඔප්පු වී තිබෙනවා. අපේ රටේ පුරවැසියා තුළ නීතියට බියක් ඇති විය යුතුයි. අපි එම සංස්කෘතිය ඇති කරනවා.

ඒ වගේම අපි ජාතික ප්‍රශ්නය අවසන් කළ යුතුයි. අපේ ප්‍රවේශය වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර යළි කිසිදු ආකාරයේ ගැටුමක් ඇති නොවන අන්දමින් රට පාලනය කිරීමයි. උතුරේ ජනතාව විශාල ලෙස යුද්ධයෙන් බැට කෑවා. යළි යුද්ධයක් ඇති නොවන අන්දමින් රට ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය ජාතික සමගිය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පියවර අපි අරගෙන තිබෙනවා. ඒ වගේම උතුරේ ජනතාවට අවශ්‍ය සංවර්ධනය, නීතිමය රැකවරණය ලබාදී සිංහල, දෙමළ, මුස්ලිම් සියලු‍ ජනතාවට සම අයිතින් තිබෙන රටක් ගොඩනගනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය උවදුරින් අපේ දරුවන් බේරාගැනීමට අපි කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ එකට බැඳී තිබෙන්නේ. අද අපි මේවා පාලනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. මත්ද්‍රව්‍ය සහ අපරාධවලින් යුත් මේ යටිබිම්ගත රාජ්‍යය වසා දැමීමට අපි තීරණය කර තිබෙනවා. ඔබේ අත්දැකීම් අපේ රටට අරන් එන්න. ඒ සඳහා අවශ්‍ය පහසුකම් අපි සකස් කර දෙන්නම්. ඒ අනුව රට ගොඩනැගීමේ ගමනේ කොටස්කරුවන් බවට පත් වීමට ඔබට හැකියාව තිබෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here