නිශ්මං රණසිංහ මැයි 05, කොළඹ LNW:
ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ සහ බංගලාදේශ අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර පැවත්වෙන එක්දින තරගාවලියේ තරග 4 ක් නිමාවේ ශ්‍රී ලංකාව 1-3 ක් ලෙස තිබියදී ලියූ සටහන පහතින් දැක්වේ.
https://sinhala.lankanewsweb.net/05/04/162685/
අප එහිදී අවධාරණය කළේ ගෙවුණු තරග කිහිපයේ බංගලාදේශ ඉණිමේ ඉහළ ලකුණු පූවරු නිර්මාණය වුණේ එහි මුල් අංකවල සිටින පිතිකරුවන්ගේ සාර්ථක හැකියාව මත බවයි.සිව්වන තරගයේදි හෝ මේ තත්ත්වය කළමණාකරනය කර ගැනීමට සැළසුමක් සකස් කර ගත හැකිනම් බංගලාදේශය ජයග්‍රාහී මාවතෙන් පිටතට ඇඳ ගැනීමට හැකි වෙනු ඇතැයි අප යෝජනා කළේය.ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සතුව තරග සැළසුම් වෙනස් කිරීමට ඉහළ මට්ටමේ තාක්ෂණික සහය ලබා ගැනීමට හැකි සැළසුම් ඇති බවද එයින් ප්‍රයෝජන ගත යුතු බවද අප පෙන්වා දුන්නෙමු.ඒවා සියයට සියයක් උපයෝගී කර ගත්තේදැයි අප නොදනිමු.එහෙත් පස්වන තරගයේදී තීරණය වෙනස් කර ලකුණු 27 ක විශිෂ්ඨ ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකාව සමත් වූයේ හයවන තරගය ජයග්‍රහණය කර තරගාවලිය සම කර ගැනීමට හැකි ඉඩක් නිර්මාණය කර ගනිමින්ය.
තරගයේ කාසියේ වාසිය ලබා එස්එස්සී තණතීරුවේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා පිතිකරුවන්ට තීරණයේ අපේක්ෂාවට ගැලපෙන පරිදි සාර්ථක වන්නට බංගලි පන්දු යවන්නෝ ඉඩ නොඳුන්හ.මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදම් හිල්මි අංක 7 පිතිකරු ලෙස පැමිණ ලකුණු 51 ක් ලබද්දී කොළඹ රාජකීය විද්‍යාලයෙන් ශ්‍රී ලංකාවට නායකත්වය දෙන්නට පැමිණි විමත් දින්සර ලකුණු 42 ක් ලබමින් 6 වන කඩුල්ලට ලකුණු 38 ක සබදතාවයක් එකතු කිරීම අගය කළ යුතුය.එහෙත් ලකුණු 164 ට කඩුලු 9 ක් වූ ඉණිම දිය වන්නට නොදී රැක ගනිමින් අවසන් පිතිකරු ලෙස මාතුලන් නොදැවී ලකුණු 4 ක් ලබා ගනිමින් හිල්මි සමග ගොඩ නැඟූ ලකුණු 32 ක සම්බන්ධය නිසා ශ්‍රී ලංකාවේ ලකුණු පූවරුව බැලූ බැල්මට සතුටු විය නොහැකි ලකුණු 196 ක් පමණක් විය.සමිඋන් බසීර් මෙහිදී ද ලකුණු 35 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් විය.
පිළිතුරු ඉණිමේ ඉලක්කය ලකුණු 197 මුල් තරගවලට සාපේක්ෂව පන්දු ඕවර් 35 – 40 ක් අතර බංගලාදේශය පළමු කඩුලු කිහිපයක් පමණක් වැය කර ලබන බවට ඉඟි පළ වුණ ද,තරගයේ පන්දු යැවීම ආරම්භ කළ මරදාන සහිරාවේ තරුෂ නවෝද්‍ය ගේ දකුණත් පිට දඟ පන්දුව සහ මාතර ශාන්ත සර්වේශස් හි විරාන් චමුදිතගේ දකුණත් මද වේග පන්දුව බංගලාදේශ පිතිකරුවන්ට අත ළඟින් පෙණුන ජයග්‍රහණයේ සිසිල් දිය කඩිත්ත සැබෑවක් නොව මිරිගුවක් කරන්නට සමත් විය.එයට යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ කුගදාස් මාතුලන්ගේ මද වේග පන්දුවේ සවියද එක් වෙද්දි බංගලාදේශයේ ජයග්‍රහණය බලා ගිය ගමන ලකුණු 164 දී නිමාවට පත් විය.
විශ්වාසවන්ත පිතිකරුවන්ගේ කඩුලු අහිමි වූ බංගලාදේශ ඉණිමට පණ දෙන්නට පසුපෙළ පිතිකරුවන් දැඩි පරිශ්‍රමයක් දැරුවද එය සාර්ථක කර ගන්නට හැකි නොවිණ.ඒ අතරින් වැඩිම ලකුණු ප්‍රමානය හිමි වූයේ අංක අංක 8 පිතිකරු සමිඋන් බසීර් ය.ඔහු ලකුණු 37 ක් රැස් කරන්නට සමත් විය.මුල් පෙළ පිතිකරුවන් ඉහළ ලකුණු ගණනක් ඉතිරි කර තබා හිතූ හැටියට පිත්ත වනන්නට සකසන පරිසරයට වඩා තාක්ෂණිකව ඉහළ ඉණිමක් ජයග්‍රහණය වෙනුවෙන් ගොඩ නඟන්නට සිඳු වූ විට වන හානිය බංගලාදේශ පිතිකරුවන් වෙතින් දැක ගන්නට හැකි විය.
විශේෂයෙන්ම මේ තරගාවලිය වෙනුවෙන් කැඳවා තිබූ ආබාධ තත්ත්වයක් නිසා ක්‍රීඩා කිරීම සැක සහිතව සිටි විරාන් චමුදිත සිය ශාරිරික යෝග්‍යතාවය නිසි පරිදි සකසා ගනිමින් මේ තරගයට පැමිණ පෑ දස්කම් ඉතා ඉහළ මට්ටමක පැවතිණි.ඔහු කඩුලු 3 ක් දවා ගනිමින් නොනැවතී උඩ පන්දු දෙකක්ද රැක ගන්නට සමත් විය.එපමණකින් නොනැවතී පිත්තෙන් ඉණිම ඇරඹීමේ වගකිමට ද උර දෙමින් ලකුණු 14 ක් එක් කර දෙන්නට සමත් විය.
දැන් හයවන තරගය දැඩි තීරණාත්මක තැනක ඇත.ශ්‍රී ලංකාවේ මේ සැළසුම්වලට පිළිතුරු දෙන්නට බංගලාදේශය වෙනස් වෙනු සැක නැත.අපහසුම කාර්යය මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සතු ඉහළ තාක්ෂණයේ හොදම ප්‍රයෝජනය ගන්නට ඇත්තේ ද එම තරගය වෙනුවෙන්ය.ඒ බංගලාදේශයේ අලුත් සැළසුම් උපකල්පනය කර පිළිතුරු සෙවීමටය.එසේම ඔවුන් නොසිතන මානයක සිට අභියෝග කිරීමට හැකි පරිදි පසුබිම සැකසීමද සිඳු කළ යුතුය.අපි ජය ගැනීමට නොහැකි වුව ද,මේ තරගාවලියේ මේ මොහොතේ වැදගත්ම දේ වන තරගාවලිය ජය පැරදුමෙන් තොරව නිමා කිරීමේ කාර්යයට ශ්‍රී ලංකාව භාග්‍යවන්තයන් වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.එය ඉබේ පහළ නොවන මහන්සියෙන්,කැපවීමෙන් සහ බුද්ධියෙන් උපයාගෙන හැකියාව සමඟ මුසු කළ යුතුය.
http://www.sportwaynews.com/
Saru FM Media