ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ කෘතිම බුද්ධි රැකියා වර්ධනයෙන් පෙරමුණට

0
1

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ AI භාවිතය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි ලෝක බැංකුව සිය වාර්තාවක් මගින් පෙන්ව දී තිබේ.

දකුණු ආසියාවේ කෘතිම බුද්ධිය හෙවත් AI භාවිතය හේතුවෙන් ශ්‍රම වෙළෙඳපොළට සිදුවන බලපෑම් සම්බන්ධව නිකුත් කර ඇති වාර්තාවක මේ බව සඳහන් කර ඇත.

එම වාර්තාවට අනුව දකුණු ආසියාවේ නේපාලය සහ ඉන්දියාවට සාපේක්ෂව AI භාවිත කරන ඉහළ ශ්‍රම බලකායක් සහිත රටවල් බවට භූතානය සහ ශ්‍රී ලංකාව පත්ව තිබේ.

කෙසේ නමුත් දකුණු ආසියාවේ රටවල් අතරින් AI මානව අනුපූරකතාව හෙවත් මානව හැකියාවන්ට තාක්ෂණය එක් කිරීම අතුරින් ශ්‍රී ලංකාව පහළ ස්ථානය ඇති බවත් කුසළතා භාවිතය වැඩි දියුණු නොකර AI භාවිතය වේගවත් වුවහොත් රැකියා අවතැන්වීමක් සිදුවනු ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ AI ආශ්‍රිත රැකියා වෙළඳපොළ දකුණු ආසියාවේ වෙනත් රටවලට වඩා වේගයෙන් ප්‍රසාරණය වෙමින් පවතින අතර 2025 දී ශ්‍රී ලංකාවේ සියලුම වෘත්තීය සහ පරිපාලන රැකියා පළ කිරීම්වලින් සියයට 7.3 කට AI ආශ්‍රිත කුසලතා අවශ්‍ය වී ඇති අතර එය කලාපයේ ඉහළම කොටස ලෙසත් පෙන්වා දී එම වාර්තාවේ සඳහන් වී ඇත්තේ ඉන්දියාවේ එය 5.8% ඉක්මවා යන බවය. 

මෙම රැකියා නාගරික ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති අතර වෘත්තීය සහ ICT සේවා අංශවල සංකේන්ද්‍රණය වී ඇති බවත් සඳහන් වේ.

තවද මෙරට මූල්‍ය අංශය,  තොරතුරු තාක්ෂණය, වෘත්තීය සේවා සඳහා AI භාවිතය ඉතා ප්‍රයෝජනවත් බවත් මෙරට ශක්තිමත්  AI රැකියා වෙළෙඳපොළක් පැවතිය යුතු බවත් ලෝක බැංකු වාර්තාවේ සඳහන් වේ.  

මේ අතර AI භාවිතයෙන් දකුණු ආසියාව පුරා රැකියා වෙළෙඳපොලින් 7%ක් පමණ අධි අවදානම් තත්ත්වයට පත්ව ඇති බවත් පෙන්වා දෙන එම වාර්තාව මගින් සඳහන් කර ඇත්තේ ඇමතුම් මධ්‍යස්ථාන නිලධාරීන්, ගණකාධිකාරීවරුන්, සෝදුපත් කියවන්නන්, පරිගණක මෘදුකාංග වැනි රැකියා භූමිකාවන් දැනටමත් රැකියා ස්ථානගත කිරීම්වලින් පහළ වැටීමක් දක්නට ඇති බවය.

එමෙන්ම  ChatGPT භාවිතය සම්බන්ධයෙන්ද සිය වාර්තාව මගින් ලෝක බැංකුව පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දෙවන ඒක පුද්ගල ChatGPT භාවිතය ඇති රටක් ලෙස මේ වන විට හඳුනාගෙන ඇති බවය.

එහි පළමු ස්ථානයට මාලදිවයින පත්ව ඇති අතර ශ්‍රී ලංකාවට පසු   ChatGPT භාවිතය ඉහළ අගයක් ගන්නා රට බවට ඉන්දියාව පත්ව ඇත.

මේ අතර මෙම AI භාවිතය මගින් වැඩි ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකි ප්‍රතිපත්ත්මය අවස්ථා සම්බන්ධයෙන්ද ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් කර ඇති අතර එමගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ ඒ හරහා AI නවෝත්පාදකයින් රඳවා තබා ගැනීමටද මෙය උපකාරී වන බවය.

ඒ අනුව ඩිජිටල් කුසලතා වැඩිදියුණු කිරීම, STEM අධ්‍යාපනය පුළුල් කිරීම, විශ්වාසදායක විදුලිය සහ අන්තර්ජාල යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම මෙන්ම ශ්‍රම සංචලතා සහ රැකියා පහසුකම් පද්ධති දියුණු කිරීම වැදගත් බවද එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here