ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් මට්ටම ඉහළට

0
2

S&P ග්ලෝබල් රේටින්ස් ආයතනය මෙරට දිගුකාලීන සහ කෙටි කාලීන විදේශ මුදල් ස්වෛරී ණයශ්‍රේණිගත කිරීම SD මට්ටමේ සිට CCC+/C මට්ටම දක්වා උසස් කර තිබේ.

එමෙන්ම දිගුකාලීන සහ කෙටිකාලීන දේශීය ණය ශ්‍රේණිගත කිරීම CCC+/C මට්ටමේම පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

එම නිවේදනය මගින් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව පිළිබඳ මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා රටේ ශක්තිමත් ආර්ථික ප්‍රකෘතිය, වේගවත් මූල්‍ය ඒකාබද්ධතාවය සහ ප්‍රතිසංස්කරණ, වැඩිදියුණු වන ගෙවුම් ශේෂ තත්ත්වය සහ රාජ්‍ය ව්‍යවසායන්ගෙන් මූල්‍ය අවදානම් අඩුකිරීමේ තිරසාර ප්‍රගතිය යන කරුණු සැලකිල්ලට ගත් බවය.

මේ අතර ෆිච් රේටින්ස් ආයතනයද විදේශ මුදල්වලින් මෙරටට නිකුත් කරන ලද දිගුකාලීන ණය ආපසු ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳ වූ ශ්‍රේණිගත කිරීම CCC+ මට්ටමේම පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව 2024 දී ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කළ ද, රජයේ සාමාන්‍ය ණයබරතාවය ඉහළයාම සහ ඉහළ පොලී-ආදායම් අනුපාතය හේතුවෙන් මෙම ශ්‍රේණිගත කිරීම පැවති CCC+ මට්ටමේම පවත්වාගෙන යෑමට හේතු වූ බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආයතන පළකරන ධනාත්මක ප්‍රතිචාර සහ ශ්‍රේණිගත කිරිම් හමුවේ දේශිය සහ විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ ගොස් තිබේ.

එලෙස ආයෝජකයින්ගේ විශ්වාසය ශක්තිමත්වීම හමුවේ කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථමවරට ඊයේ (3) 22,000 සීමාව ඉක්මවා ගියේය.

කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත සියලුම සමාගම් නිකුත් කර ඇති කොටස්හි මිල ගණන් උච්ඡාවචනය පෙන්නුම් කරන සියලු කොටස් මිල දර්ශකය ඒකක 143.1කින් ඉහළ ගිය අතර, එය ඊයේ දිනය අවසානයේ සටහන් වූයේ 22,094.89ක් ලෙසය.

එමෙන්ම කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන පෙළේ සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ද ඊයේ 6,189.97 දක්වා ඉහළ ගියේය.

කොටස් වෙළෙඳපොළේ මුළු පිරිවැටුම ඊයේ දිනයේදී දැක්වුණේ රුපියල් බිලියන 9.75ක් ලෙසය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here