බාහිර කම්පනවලට මුහුණ දීමේදී ශ්‍රී ලංකාව පසුගිය වසරවලට වඩා ශක්තිමත් තැනක පසුවන බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ආර්ථික අර්බුද කාලයේ විදේශ සංචිත නොතිබූ බවත්, වර්තමානයේ විදේශ සංචිතවලින් ඉහළ මට්ටමක පවතින බවත් මහබැංකු අධිපති වැඩිදුරටත් අනාවරණය කරයි.
මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බවද ඔහු අවධාරණය කරයි.
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹ ඇත්තේ, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්වය හේතුවෙන් පැන නඟින අවිනිශ්චිතතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, වෙනස්වන දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ ඉදිරි දැක්ම පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුවය.
මෙහිදී වැඩිදුරටත් කරුණු අනාවරණය කළ මහ බැංකු අධිපති,
“භූ දේශපාලනික අර්බුද තීව්‍ර වීමත් සමඟ උද්ගත වූ දැඩි අස්ථාවරත්වය මධ්‍යයේ ගෝලීය බලශක්ති මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යෑම සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතුවලට ඇති වූ අවහිරතා හේතුවෙන් දේශීය බලශක්ති මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට සිදු විය.
උද්ධමනය ඉලක්කගත මට්ටම වන 5%ට සාපේක්ෂව, පෙබරවාරි මාසයේ දී 1.6%ක් ලෙස (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) දැනට පහළ මට්ටමක පවතින බැවින්, බලශක්ති මිල ගණන් ඉහළ යෑම සහ එමගින් උද්ධමනය කෙරෙහි එල්ල කරන වක්‍ර බලපෑම් සඳහා මුහුණ දීමට ප්‍රමාණවත් අවකාශයක් අපට පවතී.
පවතින නවතම දත්ත සහ අවිනිශ්චිතතා සැලකිල්ලට ගත් විට, උද්ධමනය අපේක්ෂාකළ කාලයට පෙර, එනම් 2026 වසරේ දෙවන කාර්තුව වන විට ඉලක්කගත මට්ටම කරා ළඟා වනු ඇතැයි මහබැංකුව අපේක්ෂා කරයි.
ඉන් අනතුරුව එය ඉලක්කගත මට්ටම වටා ස්ථායීව පවතිනු ඇතැයි පුරෝකථනය කෙරේ.
2025 වසර අවසානයේ දී දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වුව ද, එම වසරේ දී ආර්ථිකය 5.0%ක ශක්තිමත් මූර්ත වර්ධනයක් වාර්තා කළා.
ප්‍රධාන ආර්ථික දර්ශක අනුව, 2026 වසර මුල් භාගයේ දී සුළි කුණාටුවෙන් පසු ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්ත්වයට පත් වෙමින් පවතින බව පෙන්නුම් කරයි.
කෙසේ වුව ද, මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය අඛණ්ඩව පැවතුණහොත් දේශීය ආර්ථික ක්‍රියාකාරකම් වෙත එමගින් එල්ල වන අහිතකර වක්‍ර බලපෑම් ඉදිරි කාලයේ දී තීව්‍ර විය හැකියි.
2026 වසරේ මුල් කාලය තුළ විදේශීය අංශය යහපත් කාර්යසාධනයක් පෙන්නුම් කළ අතර, ආනයන වියදම්වලට සාපේක්ෂව අපනයන ආදායම් ඉහළ යෑම මෙන්ම, සංචාරක ඉපැයීම් සහ විදේශ ප්‍රේෂණ ලැබීම් ඉහළ යෑම ඊට හේතු වුණා.
2026 වසරේ පෙබරවාරි මාසය වන විට දළ නිල සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 7.3ක් දක්වා ඉහළ ගිය අතර, වසරේ මුල් මාස දෙක තුළ මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළඳපොළෙන් විදේශ විනිමය සැලකිය යුතු ප්‍රමාණයක් මිලදී ගන්නා ලදී.
කෙසේ වුව ද, මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන්, විශේෂයෙන් බලශක්ති, සංචාරක, වෙළඳ, සහ ප්‍රේෂණ හරහා ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ ඉදිරි දැක්ම කෙරෙහි බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින නමුත් එහි සමස්ත බලපෑම තවදුරටත් අවිනිශ්චිතව පවතී.
2026 වසර ආරම්භයේ දී ශ්‍රී ලංකා රුපියල සාපේක්ෂ වශයෙන් ස්ථායීව පැවතිය ද මැදපෙරදිග කලාපයේ ගැටුම් ආරම්භ වීමත් සමඟ කලාපයේ අනෙකුත් රටවල විනිමය අනුපාතිකවල දක්නට ලැබුණු ආකාරයෙන්ම ශ්‍රී ලංකා රුපියලෙහි ද යම්කිසි අවප්‍රමාණය වීමේ පීඩනයක් නිරීක්ෂණය වුණා.” යැයි සඳහන් කරයි.
4
Saru News
















