විදේශගත ශ්‍රමිකයන් මේ වසරේ මුල් මාස පහ තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 5.11ක වාර්තාගත මුදලක් ලංකාවට එවා තිබුණේය. පසුගිය කාලයේදී විදේශ රැකියා සඳහා ශ්‍රමිකයන් පිටත්ව යෑම ඉහළ ගොස් තිබීම පමණක් නොව ඉහළ ආදායම් ලබාගත හැකි රැකියා සඳහා ශ්‍රමිකයන් පිටත්ව යෑම මෙවැනි වාර්තාගත ආදායමක් රටට ළඟා කරගැනීමට හේතුවී තිබුණේය.
එවැනි ඉහළ ආදායම් ලබාගත හැකි රැකියා අවස්ථා විවිධ රටවලින් විවෘත වී තිබුණේය. එහෙත් ඊශ්‍රායලයේ විවෘත වූ රැකියා අවස්ථා වඩාත් කැපී පෙණුනේය. ගෘහ සේවිකාවක් හතර පස් දෙනෙක් මැදපෙරදිග රටකට ගොස් උපයන මුදල ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යන එක් අයෙක්ට උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙන්නේය.
ඊශ්‍රායලයේ සාත්තු සේවක, කෘෂි, ඉදිකිරීම්, හෝටල් ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක රැකියා අවස්ථා දස දහස් ගණනක් ලංකාවට විවෘත වී තිබෙන්නේය. ඊශ්‍රායලයේ රැකියා ලංකාවට ලැබීමේ කතාව දැනට දශයකට පෙර දක්වා අතීතයට ඇදී යන්නේය.
මුලින්ම ඊශ්‍රායල් රැකියා අවස්ථා ලංකාවට විවෘත වුණේ 2014 වසරේදීය. ඒ අවස්ථාවේදී ඊශ්‍රායල් රැකියා අවස්ථා දහසක් ලංකාවට විවෘත වුණේය. විදේශ රැකියා අවස්ථා ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබී තිබුණ අයැදුම්පත් අතරින් ලේඛනයක් සකස් කර ඊශ්‍රායලයට යැවීමට කාර්යාංශය කටයුතු කර තිබුණේය. ඒ අනුව මෙතෙක් ලංකාවට විවෘත නොවූ ඊශ්‍රායල් රැකියා අවස්ථා ලංකාවට විවෘත වුණේය.
සාත්තු සේවක හා කෘෂි අංශයේ රැකියා අවස්ථා මුල් කාලයේදී ලංකාවේ ශ්‍රමිකයන්ට විවෘත වී තිබුණේය. කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගිය පුද්ගලයන් නැවත ලංකාවට නොපැමිණීම නිසා ඊශ්‍රායලය ලංකාවෙන් කෘෂි රැකියා සඳහා ශ්‍රමිකයන් බඳවා ගැනීමට අදි මදි කර තිබුණේය.
එහෙත් නැවත වරක් ලංකාවේ ශ්‍රමිකයන්ට ඊශ්‍රායල් රැකියා අවස්ථා ගැන බලාපාරොත්තුවක් ඇති කරගැනීමට හැකියාව ලැබුණේ පලස්තීන හමාස් සංවිධානයේ කණ්ඩායමක් 2023 වසරේ ඔක්තෝබර් මස 7 වැනිදා නිවාඩුවක් ගත කරමින් සිටි ඊශ්‍රායල් ජාතිකයන් පිරිසක් පැහැරගෙන ගොස් මරාදැමීමත් සමගින් ඇතිවූ තත්ත්වයන්ය. ඒ සමගින් දකුණු ඉවුරේ සහ ගාසා තීරයේ යුද ගැටුම් ක්ෂණිකව වර්ධනය වුණේය. ඊශ්‍රායල් ආරක්ෂක අංශ පලස්තීනය ඉලක්ක කරගෙන දැඩි ප්‍රහාර මාලාවක් ආරම්භ කළේය.
ඒ සමගින් ඊශ්‍රායලයේ කෘෂි වැඩ බිම්වල සේවය කරමින් සිටි පිරිස් වැඩබිම් හැරදා ගියේය. ඒ වන විට එහි වැඩි වශයෙන්ම සේවය කරමින් සිටියේ පලස්තීන ජාතිකයන්, තායිලන්ත ජාතිකයන් හා පිලිපීන් ජාතිකයන්ය. ඔවුන් වැඩ බිම් හැරදා යෑමත් සමගින් වගාබිම් හානිවීමේ අවදානමක් මතු වුණේය. මේ නිසා ක්ෂණිකව ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය විය.
එසේ ක්ෂණිකව වෙනත් රටවලින් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමත් ලෙහෙසි පහසු කටයුත්තක් වූයේ නැත. ඒ භූ දේශපාලනික තත්ත්වයන් ඊශ්‍රායලය හා තදින්ම බැඳී පවතින නිසාය. ලංකාවේ ශ්‍රමිකයන්ට ස්වර්ණමය අවස්ථාවක් උදාවූයේ මේ අවස්ථාවේදීය.
කඩිනමින් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම සඳහා ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කඩිනම් තීන්දු ගත්තේ මේ අවස්ථාවේදීය. ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව පිළිබද ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමේ අවශ්‍යතාවයක්ද මේ අවස්ථාවේදී මතුවිය. විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත හා අනෙකුත් අණ පනත් අනුව ඒ තීරණය ගත්තේ විදේශ රැකියා ඇමැතිවරයාය. ඒ අවස්ථාවේදී විදේශ රැකියා ඇමැතිවරයා වූයේ මනුෂ නානායක්කාරය.
මේ වනවිට ආර්ථික අර්බුදය හමුවේ ඩොලර් සංචිතය බිංදුවටම හිඳී පැවතීම නිසා රටට වැඩි ඩොලර් ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට හැකි රැකියා අවස්ථා ලංකාවට අවශ්‍ය විය. ඩොලර් තුන්සියයක් තුන්සිය පනහක වැටුපක් ලැබෙන මැද පෙරදිග ගෘහ සේවක රැකියා වෙනුවට ඩොලර් දහසක, දෙදහසක වැටුප් ලැබෙන ඊශ්‍රායල් රැකියා අවස්ථා මඟ නොහැරගත යුතුව තිබුණේය.
ඒ අනුව ඊශ්‍රායල් රැකියා ලබාගැනීම සදහා වන ප්‍රතිපත්තිමය තීරණය ඇමැතිවරයා ගත්තේය. එතැනින් එහා රැකියා ලබාදීම සම්බන්ධයෙන් වන සියලුරෑම වගකීම් පැවරුනේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයටයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා තානාපති නිමල් බණ්ඩාර වහාම මැදිහත්වී ඊශ්‍රායල් බලධාරීන් සමග කඩිනම් සාකච්ඡා පැවැවැත්වූවේය. මෙම සාකච්ඡා පැවැත්වෙන අතරවාරයේදී ඊශ්‍රායලයේ නව රැකියා අවස්ථා උදාවීම් පිළිබද වඩාත් උනන්දුවෙන් කටයුතු කළ ඊශ්‍රායලයේ සිටින තානාපති නිමල් බණ්ඩාර තමන්ගේ සමාජ මාධ්‍ය ඔස්සේ නව රැකියා අවස්ථා පිළිබද දැනුවත් කළේය. ඒ අතරම මාධ්‍ය වෙත අදහස් දක්වමින්ද ඊශ්‍රාලයේ රැකියා සඳහා අයදුම් කළ හැකි බව දැනුම් දුන්නේය. ඊශ්‍රායලේ සිටි ශ්‍රී ලාංකිකයන්ද අලුතින් විවෘත වී ඇති රැකියා අවස්ථා ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වන්න විය. ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හා අමාත්‍යාංශයට විවිධ පුද්ගලයන් පැමිණ අයදුම්පත් භාරදෙන්නට විය.
මෙසේ අයදුම්පත් ලැබෙමින් තිබෙන අතරවාරයේදී නොවැම්බර් මාසයේ මුල් සතියේදී ඊශ්‍රායලය බලා පිටත්ව ගිය නියෝජිත කණ්ඩායමක් අදාළ ගිවිසුම්වලට එළැඹුණේය.
එම ගිවිසුම අනුව ඊශ්‍රායල් රැකියා සඳහා බඳවා ගැනීම් සිදු කරන ආකාරය පිළිබඳ කරුණු පැහැදිළිව සඳහන් වූවේය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු හා බඳවා ගැනීමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා එහි කේන්ද්‍රිය කාර්යභාරයක් කරන නිලධාරියා බවට පත්වුණේය. ශ්‍රමිකයන් බඳවා ගැනීම සඳහා ඊශ්‍රායල් පාර්ශ්වයට පැවති දැඩි හදිසිය නිසා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව දෙපාර්ශ්වය අතර නිරන්තර සාකච්ඡා පැවැත්වුනේය. බදවාගැනීම් ක්‍රමවේදය ක්‍රියාතම්ක කිරීමේදී ඇතිවන තත්වයන් සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමත්, සාකච්ඡාවලදී ගන්නා තීන්දු ක්‍රියාත්මක කිරීමටත් දෙපාර්ශ්වය ගිවිසුම මගින්ම එකග වී තිබුණේ වඩාත් නම්‍යශීලී ආකාරයකට බදවා ගැනීම් සිදු කිරීමේ ඇතිවූ අවශ්‍යතාව නිසාය.
ශ්‍රමිකයන්ගේ හදිසි අවශ්‍යතාව නිසා ඊශ්‍රායල පාර්ශ්වය ඉල්ලා තිබුණේ මේ වනවිට විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා අමාත්‍යාංශය වෙත ඉදිරිපත් වී ඇති නොයෙක් රැකියා අයදුම්පත් අතරින් කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමුකළ හැකි ශ්‍රමිකයන් තෝරාගෙන ඔවුන්ගේ නම් එවන ලෙසය. ඒ අනුව කෘෂි රැකියා සඳහා සුදුසුකම් ලැබිය හැකි පිරිසකගේ නම් ලැයිස්තුවක් යැවවේය. ඒ වනවිට අමාත්‍යාංශයේ හා කාර්යාංශයේ පැවති අයැදුම්පත් අතරින්ය.
මේ අතර රට පුරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන විදේශ රැකියා අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරීන් හරහාද ප්‍රාදේශීය ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරීන් දැනුවත් කර අයැදුම්පත් කැඳවීමටද කටයුතු කරනු ලැබුවේය. විෂය භාර ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් උදාවී ඇති නව රැකියා අවස්ථා ගැන දැනුවත් කරමින් තමන්ගේ ගම් පළාත්වල සිටින සුදුසුකම් ඇති අයගේ අයැදුම්පත් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කළේය. ඒ දේශපාලන පක්ෂ පාඨ භේදයකින් තොරව බඳවා ගැනීම් සිදු කිරීමට ඉඩක් ලබාදීමටය.
මෙසේ ලැබෙන අයැදුම්පත්වල මූලික සුදුසුකම් පරීක්ෂාවකින් පසුව දත්ත ඊශ්‍රායලයට යැවිය යුතු විය. එම දත්ත යැවිය යුතු වූයේ එක්ස්එල් දත්ත ලැයිස්තුවක් ලෙසයි. එම දත්ත ඊශ්‍රායලයට ලැබීමෙන් පසුව බඳවා ගැනීම සඳහා වන මූලික ක්‍රමවේදයන් ආරම්භ වුණේය. එම බඳවා ගැනීමේ ක්‍රමවේදයද ඊශ්‍රායලයට සුවිශේෂී ක්‍රමවේදයකි.
රැකියා සඳහා අවශ්‍ය වන මූලික සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන්ගේ නාමලේඛණය ඊශ්‍රායලයට යැවූ විට ඊශ්‍රායලය ලොතරැයි ක්‍රමයකට අයැදුම්කරුවන් තෝරා ගන්නේය. එම ලොතරැයි ක්‍රමවේදය හා බඳවා ගැනීමට අදාළ සියලුම තීරණයන් ගනු ලබන්නේ ඊශ්‍රායලයේ පීබා ආයතනයයි. ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කළ හැකි එකම දේ වූයේ මූලික සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන්ගේ නාමලේඛනය යොමු කිරීම පමණි. බඳවා ගැනීම්වලට අදාළ කිසිදු කාර්යයකට මැදිහත්වීමේ අවස්ථාවක් කාර්යාංශයට නොවීය. මේ නිසා වඩාත් විනිවිද භාවයකින් යුතුව බඳවා ගැනීම් ඉදිරියට ගෙන යෑමට හැකියාව උදා වුණේය.
ඊශ්‍රායල් රැකියා උන්මාදය නිසා විදේශ රැකියා අමාත්‍යාංශයත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් අයැදුම්කරුවන්ගෙන් පිරී ගියේය. එසේ වැඩි අයැදුම්පත් සංඛ්‍යාවක් ලැබීම වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීමටද හේතු විය. මුලින්ම දහසක විවෘත වූ රැකියා අවස්ථා දස දහසත්, තිස් දහසත් දක්වා වැඩි වුණේ අයැදුම්පත් වැඩියෙන් ඊශ්‍රායලයට යොමු කිරීම නිසාය. අයැදුම්පත් වැඩියෙන් යොමු කිරීම මගින් වැඩි රැකියා අවස්ථා විවෘත කරගැනීමට හැකි බව ඒ වනවිට ඊශ්‍රායල් බලධාරීන් දැනුම්දී තිබුණේය.
2014 වසරේ සිට විවෘත වූ ඊශ්‍රායල් රැකියා අවස්ථා සදහා ශ්‍රමිකයන් බඳවා ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට විධිමත් ක්‍රමවේදයක් වසර නමයක් යන තුරුම තිබුණේ නැත. අන්තර්ජාලය පදනම් කරගත් ක්‍රමවේදයක් නිර්මාණය වූයේ 2023 වසරෙන් පසුවය. අන්තර්ජාලය පදනම් කරගත් ඩිජිටල් ක්‍රමවේදයක් හරහා අයදුම්පත් කැඳවූවත් පරිගණක සාක්ෂරතාවය අඩු අය වෙනුවෙන් සාමාන්‍ය අයදුම්පත් භාරගැනීමේ ක්‍රමවේදය අඛණ්ඩව කරගෙන යෑමට සිදුව තිබුණේය.
කෙසේ වෙතත් මේ සමගින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය අර්බුදයකට මුහුණ දුන්නේය. ඒ ඊශ්‍රායල් අංශය නමින් අලුත් අංශයක් විවෘත කිරීමට සිදුවීමයි. ඊශ්‍රායල් අංශය නමින් නව අංශයක් ආරම්භ කළත් ඔවුන්ට රාජකාරී කටයතු කිරීමට අවශ්‍ය ඉඩ පහසුකම් කාර්යාංශය තුළ නොතිබුණේය. මේ නිසා කාර්යාංශය අසල ඉඩම කුලියට ගෙන තාවාකාලික කූඩාරම් ඉදිකර ඒවා තුළ සිටිමින් රාජකාරී කළේය. ඒ අතරම අයැදුම්කරුවන්ගේ දත්ත ඇතුළත් කිරීමට අමාත්‍යාංශය තුළ ඉඩක් ඉල්ලා සිටි අතර ඒ සඳහා ඉඩ පහසුකම්ද ලැබුණේය.
කෘෂි රැකියා සඳහා පිටත්ව යන අයට මුලදී දින තුනක පුහුණුවක් ලැබුණේය. පසුව උමන්දාව විශ්ව බෞද්ධ ගම්මානයේදී සති දෙකක පුහුණුවක් දක්වා එය දීර්ඝ කරනු ලැබුවේය.
ඊශ්‍රායල් රැකියා අවස්ථා විවෘත කළ අවස්ථාවේදී ඇමැති ධුරය දැරූ මනුෂ නානායක්කාරට දේශපාලනිකව එය පාරා වළල්ලක් විය. ඒ සැලකිය යුතු මුස්ලිම් ඡන්ද පදනමක් ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ මුස්ලිම් ඡන්ද ඔහුට නොලැබී යාමයි. ඒ නිසා ඔහු මැතිවරණයෙන් පරාජයට පත්විය.
එහෙත් ඊශ්‍රායල් රැකියා අවස්ථා විවෘත වීම රටට නම් හොඳ කලක් උදා කළේය. ඒ ආදායම් වැඩි වශයෙන් ගෙන එන රැකියා අවස්ථා විවෘත වීම නිසාය. රටට වැඩියෙන් ඩොලර් ගෙන ඒම නිසාය.
තුෂාන් බණ්ඩාර
Saru FM Media