
ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන්තොටුපළ දක්වා ගමන් කළ ශ්‍රී ලන්කන් ගුවන් යානයක සේවිකාවන් දෙදෙනකුට ලිංගික අඩන්තේට්ටම් කිරීම සහ මගීන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් ස්විට්සර්ලන්ත-ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියකුට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 26,500ක දඩ මුදලක් නියම කර තිබේ.
කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ශන කැකුණවෙල මහතා විසින් අප්‍රේල් 24 වන දින දඩ මුදල නියම කළ අතර,
දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට ලිහිල් වැඩ සහිත මාසයක සිර දඬුවමක් ලබා දෙන ලෙසද නියෝග කර ඇත.
වරදකරු ලෙස හඳුනාගත් යාපනය ප්‍රදේශයේ පදිංචි කන්දයියා තුරේසිංහම් නමැති පුද්ගලයා ස්විට්සර්ලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය දරන අයෙකි.
සිද්ධිය වාර්තා වී ඇත්තේ ඉකුත් මාර්තු මස 12 වැනි දින අලුයම 12.45ට පමණ මුම්බායි සිට කටුනායක දක්වා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක දීය. එම අවස්ථාවේ බීමත්ව සිටි තුරේසිංහම් ගුවන් යානයේ සේවය කළ සේවිකාවන් දෙදෙනකුට ලිංගික අඩන්තේට්ටම් කර ඇති අතර, සෙසු මගීන්ට හිරිහැරයක් වන ආකාරයෙන් හැසිරී තිබේ.
සැකකරු අධික ලෙස විස්කි මත්පැන් පානය කර තිබූ බව වාර්තා විය. ඉන් පසු ඔහු එම ගුවන් යානයේ සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් කිරීමට උත්සාහ කරමින්,ගුවන් යානයේ සිටි අනෙකුත් මගීන්ට ද හිරිහැරයක් වන ආකාරයට හැසිරී ඇත.ඔහු අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් පසු සිය රහස් ප්‍රදේශය ගුවන් සේවිකාවන්ට ප්‍රදර්ශනය කරමින් ලිංගික අතවර කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.ගුවන් යානය උඩු ගුවනේ පියාසර කරමින් තිබියදී සිය ගමන් බෑගය තුළ රැගෙන ආ ලීටරයක පමණ
ප්‍රමාණයේ විස්කි වර්ගයේ මත්පැන් බෝතලයක් පානය කර ඇත.
සැකකරු මුලින් යාපනයේ නාග දූපතේ පදිංචිව සිට පසුව යුරෝපයට සංක්‍රමණය වී ඇති බවත්, දැනට ස්වීඩනයේ පදිංචිව සිටින බවත්ය. සැකකරු වසර 30කට පසුව ශ්‍රී ලංකාවේ සිටින 63 හැවිරිදි සිය නැගණිය බැලීමට පැමිණි අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුවී ඇති බව ද එහිදී අනාවරණය විය.
සැකකරුගේ නීතිඥවරයා පැහැදිලි කළ පරිදි, තුරෙයිසිංහම් ස්වීඩනයේ ස්ටොක්හොම් නුවර සිට මුලින්ම එංගලන්තයේ ලන්ඩන් වෙත ගුවන් ගමනක් ගෙන, ඉන්පසු ඉන්දියාවේ මුම්බායි නුවරට ගමන් කර ඇත. මෙම දිගු හා වෙහෙසකාරී ගුවන් ගමන්වලින් පසුව ඔහු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානයේදී අයහපත් හැසිරීම් රටාවක නිරත වී ඇත.
ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළට ළඟා වීමෙන් පසු ගුවන්තොටුපොළ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, පසුව ඔහු ඇප මත මුදා හැර තිබිණ. කෙසේ වෙතත්, පසුව පවත්වන ලද නඩු විභාගයේදී තුරේසිංහම් චෝදනාව පිළිගත් අතර, ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා දඬුවම නියම කර ඇත.
Saru FM Media